https://www.gossiplankanews.com/2019/07/nugegoda-businessman-murder.html
ඊයේ (28) අළුයම 1.10 ට පමණ කොහුවල පොලිස් වසමේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන්කරන්නට යද්දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට බාහිරව සිටි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා
තිබූ අතර තුවාල ලැබූ ජිප් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගියා.
මියගිය අය වයස අවුරුදු 38 ක්වූ අංක 195/10, මාදිවෙල පාර, උඩහමුල්ල ලිපිනයේ පදිංචි රණවක සුසිල් රුවන් පෙරේරා නමැත්තෙකි ඔහු අවන්හල් හිමි කරුවෙකි. මෙහිදී තුවාල ලද අනෙක් පුද්ගලයා බස් රථ හිමි
ව්‍යාපාරිකයකු වන තලපත්පිටිය කනත්ත පාරේ පදිංචි 40 හැවිරිදි
අධිකාරම් මුදියන්සේලාගේ ඉන්දික රොෂාන් නමැත්තෙකි.
ඉතාලියේ රැකියාවක නියුතු මෙම දෙදෙනාගේ මිතුරෙකු ජම්බුගස්මුල්ල මාවතේ පදිංචිව සිටි අතර කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා මෙහි පැමිණ ඔහුගේ නිවසේ පෙරේදා රාත්‍රියේ පැවැති සාදයකට වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා ද සහභාගි වී ඇත.
සාදය අවසන් වීමෙන් පසුව ඊයේ අලුයම 1.10ට පමණ ව්‍යාපාරිකයන් දෙදෙනා පිටත්ව යෑම සඳහා වාහනයට ගොඩ වී ඇති බවත් රුවන් පෙරේරා නමැති ව්‍යාපාරිකයා වාහනය නිවසේ සිට පිටුපසට ගැනීමට සූදානම් වෙනවාත් සමඟම
ගේට්ටුව අසල සැඟවී සිටි දෙදෙනකුගෙන් එක් අයකු දිගට හරහට වෙඩි තබා පලාගොස් ඇත.
වාහනයේ සිටි දෙදෙනාටම වෙඩි වැදී තිබූ අතර සාදයට පැමිණ සිටි කිහිපදෙනකු විසින් ඔවුන් වහාම කළුබෝවිල රෝහලට ගෙන ගොස්
ඇත. රුවන් පෙරේරා ඒ වනවිටත් මියගොස් තිබූ අතර ඉන්දික රොෂාන් නමැති අනෙක් ව්‍යපාරිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇති
බව පොලිසිය කියයි. ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් අපරාධ කල්ලියකට දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැකකරයි.
වෙඩි තැබීම සඳහා එම්.එම්. 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන තිබූ බව ද පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් පසු මෝටර් සයිකලයකින් දෙදෙනෙකු පළායන දර්ශන සීසීටීවී නිරීක්ෂණය වී ඇත. මේ අතර දෙල්කඳ ප්‍රදේශයේදී අතහැර ගොස් තිබූ අදාළ මෝටර් සයිකලය හමුවී ඇති අතර අංක තහඩු එහි තිබී නැත.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.