නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර, තවත් ව්‍යාපාරිකයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට පලා යෑමට ආධාර අනුබල දුන් බවට පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට
ගෙන ඇත්තේ කෝට්ටේ නගර සභාවේ රියැදුරෙකි. ඝාතනයට පැමිණි සැකකරුවන් පැලඳ සිටි බවට පැවසෙන ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවාස  ඉදිරිපිට සඟවා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා, ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලබාදී එය සඟවා තබන ලෙස පවසා ඇති බවත්, අනතුරුව එම පුද්ගලයා ලවා ත්‍රිරෝද රථයක් ගෙස්වාගෙන අත්තිඩිය, බෙල්ලන්තර දක්වා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එසේ පැමිණි පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකුද සිට ඇති බවත්, එම පුද්ගලයා මේ වන විට ඩුබායි රටට පලාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. සිද්ධියට අදාළ සැකකරුවන් බෙල්ලන්තර දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරාගෙන්ද ප්‍රකාශ ලබාගත් බච පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතව තිබිණි.

බන්ඩාරගම - බිමල් ශ්‍යාමන්