සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය
තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය

ලෙසද මෙය සැලකෙයි.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලදේශ නායක තමීම් ඉක්බාල් මුලින්ම පන්දුවට පහරදී පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී  ලකුණු 238ක් රැස් කළ අතර මුෂ්ෆිකාර් රහීම් නොදැවී ලකුණු 98ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධනංජය, නුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.4කදී කඩුලු තුනක් දැවී ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 82ක් රැස්කළේය. ඒ අනුව තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන  ලැබීය.