බළන්ගොඩ ඉත්තෑගල කන්ද ප්‍රදේශයේ පදිංචි දාහතර හැවිරිදි පිරිමි දරුවකුගේ කොන්ද ප්‍රදේශයට
ඔහුගේ මව උණුවතුර වත්කර ඇති බවට වාර්තා විය.

මේ හේතුවෙන් එම දරුවාට පිලිස්සුම් තුවාල සිදු වී ඇති බව පරීක්ෂණ සඳහා පෙරේදා (26දා) එම
නිවෙසට ගිය පොලිස් නිලධාරීන්ට අනාවරණය වී තිබේ. ලද තොරතුරකට අනුව කොළඹ ළමා ආරක්ෂක
කාර්යාංශය මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශය වෙත දැනුම් දී ඇත.

බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි දුමිඳු සේනානායක මහතාගේ සහ බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති
ලෝරන්ස් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බළන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ 119 අංශයේ
රාජකාරි සිදු කරන බී.එම්. ලලිත් (3839278) සහ  එම්.ජී.පී.
තුෂාර (42674) යන නිලධාරීන් එම
දරුවා පදිංචි නිවෙසට ගොස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහිදී එම දරුවා පමණක් නිවෙසේ සිට ඇති අතර
ළමා ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් ලබාගත් උපදෙස් අනුව එම දරුවා පරීක්ෂා කිරීමේදී මෙලෙස කොන්ද
ප්‍රදේශයේ පිලිස්සුම් තුවාල තිබෙණු දුටු බව පරීක්ෂණ සඳහා ගිය පොලිසියේ නිලධාරීහු පවසයි.  සිද්ධිය වී
දින කිහිපයක් ගතවන්නැති බවට පොලිසිය සැක පළ කරයි. දරුවාගේ මවට වහාම බළන්ගොඩ පොලිස් ස්ථානය
වෙත පැමිණෙන ලෙසට දන්වන්නැයි සැකකාර මවගේ ඥාතීන් වෙත පොලිසිය දැනුම්දී තිබේ. සිද්ධියට
සම්බන්ධ සැකකාර මව අත්අඩංගුවට ගැනීම සඳහා බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශය විමර්ශන
ආරම්භ කර තිබේ.

නලින්ද වලේබොඩ