දහඅට වසරකට පෙර තම බිරිය ඝාතනය කර තම නිවෙසේ වැසිකිළි වළට දමා සඟවා තැබූ විත්තිකරුවකු මිනීමැරිමේ චෝදනාවට වැරදිකරු කළ රත්නපුර පළාත්බද මහාධිකරණය එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය. මෙසේ රත්නපුර පළාත්බද මහාධිකරණයේදි මරණීය දණ්ඩනය නියම වූයේ පොළොන්නරුව,
ඇල්ලෙවැව, රාජ්‍ය සේවක ගම්මානයේ අංක 104හි පදිංචි කලක් හමුදා සේවයේ සිටි ජී. දයාවංශ (38) නමැති පුද්ගලයකුටය. විත්තිකරුට පෙර විවාහයේ එක් දරුවකුද පසුව කරගත් විවාහයෙන් දරුවන් දෙදෙනකුද සිටී.

මොහු විසින් ඝාතනයට ලක්කර ඇත්තේ ඔහුගේ පළමු විවාහයේ බිරිය වන එන්.එච්. තුෂාරි ඉන්දිකා නමැත්තියයි.
ඉකුත් 2002 වසරේ නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අම්බෑවිල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී එන්.එච්. තුෂාරි ඉන්දිකා නමැති තම බිරිය ඝාතනය කර ඇගේ සිරුර වැසිකිළි වළක් තුළ සැඟවිම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 198 වගන්ති යටතේ විත්තිකරුට අධිචෝදනා ගොනුකර නීතිපතිවරයා විසින් රත්නපුර පළාත්බද මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධ මරණකාරියගේ මව විසින් 2011 වසරදි එවකට පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කටයුතු නැවත ආරම්භ කර 2011 වසරදි මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව මූලික නඩු විභාගයක් පැවැත්විණි. එම මූලික නඩු විභාගය අවසන් කළ පසුව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව 2016 වසරේ නොවැම්බර් 15 වැනිදා රත්නපුර පළාත්බද මහාධිකරණයේදී
අධිචෝදනා භාරදී තිබිණි.

මෙම අපරාධය සිදුවී වසර නවයකට පසුව, මරණකාරියගේ මෘතශරීරය අධිකරණ නියෝග මත ඔවුන් පදිංචිව සිටි නිවෙසේ වැසිකිළි වළෙන් ගොඩගෙන තිබුණේ 2011 වසරේ නොවැම්බර් 30 වැනිදාය. එදින පැවති මහෙස්ත්‍රාත්  පරිකෂණයදී මරණකාරියගේ මව වන මල්ලිකා සමරවික්‍රම නමැත්තිය විසින් සිය දියණියගේ කරාබු ජෝඩුව හා ඇය හැඳසිටි සිල්ක් ගවුම ද හඳුනාගෙන ඇත.

එසේම මෙම නඩුවේ පරිවේශනීය සාක්‍ෂි අනුව මෙන්ම වැසිකිළි වළෙන් ගොඩදැමූ ශරීර කොටස්, ඇටකටු, දත් වැනි නොදිරා ඉතිරිව තිබූ ශරීර කොටස් පිළිබඳව පැවැති වෛද්‍ය පරික්ෂණ වලින් මෙම වැසිකිළි වළට දමා තිබුණු මෘතශරීරය ඝාතනයට පත් තුෂාරි ඉන්දිකා නමැති කාන්තාවගේ මෘතශරීරයම බවට සියලු සාක්‍ෂි අනුව තහවුරු වන බව මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවැසුවේය.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ නීතිඥ රාජකරුණා සහ රජයේ නීතිඥ දන්තෙනී සිල්වා මහත්වරුන් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරික්ෂක වෙත්තසිංහ මහත්මියද විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුදත් සේනාරත්න මහතාද පෙනී සිටියහ.

-කේ.ඒ.එස්.පියතිලක-