එක්සත් රාජධානියට යැවීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ කූරියර් සේවකට පුද්ගලයකු භාරදී තිබූ සැකකටයුතු ඡායාරූප හතළිහක් සොයා ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. ස්වාමීන් වහන්සේලා හා බෞද්ධ
කොඩි රැගත් ගිහි පිරිස් කදුරුවෙල බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට අදාළ ඡායාරූප සහ කඩ සාප්පු හා වෙනත් දේපොළ ගිනි තබා විනාශ කර ඇති අන්දම දැවෙන ඡායාරූප එහි අඩංගුව තිබූ බව පොලිසිය කියයි.

විදේශයකට යැවීම සඳහා කුරියර් සේවාව වෙත එම ඡායාරූප භාරදුන් පුද්ගලයා
පොළොන්නරුව පදිංචිකරුවකු බවට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී යැයි පොලිසිය කියයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් හෝ තර්ජන ක්‍රියාවලියක් සඳහා හෝ ජාතීන් අතර අසමගියක් ඇති කිරීමේ චේතනාවෙන් හෝ මෙම ඡායාරූප විදේශ රටවලට යැවීමට උත්සාහ දැරුවේද යන්න ගැන සොයා බලන බව පොලිසිය කියයි.

එම ඡායාරූප කුරියර් සේවාව වෙත භාරදුන් පුද්ගලයාට කොම්පඤ්ඤවීදිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පණිවුඩයක් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (18දා) පැවැසීය.
සිද්ධිය ගැන කොප්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.