ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස ආචාර්ය අජන්තා පෙරේරා නම් කොට ඇත. වත්මන් පාලකයන් බලයට පත් කරනු ලැබූ ජනතාවගේ බලාපොරොත්තු මේ වනවිට බිඳ වැටී ඇති බවත් වංචා
දූෂකයන්ට එරෙහිව දියුණු රටක් ගොඩ නැගීමට
තමන් අපේක්ෂා කරන බවත් ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවාය. බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවිය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඉටු කිරීමට තමන් කැප වෙන බවද ඇය පවසන්නීය.

පරිසරවේදිනියක් වන ආචාර්ය අජන්තා පෙරේරා 90 දශකයේදී මෙරට ඇරඹි ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහ‌නේ නිර්මාතෘවරිය වන අතර පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ටද පරිසරය පිළිබඳ වැඩමුළු පැවැත්වූ අයකු බවත් සමාජවාදී පක්ෂය පවසයි.

නව ලිබරල් වාදය වෙනුවෙන් පෙනී සිටින වත්මන් ධනපති හවුල් ආණ්ඩු දේශපාලනයට එරෙහිව පෙනී සිටීම, ආගමික අන්තවාදයට එරෙහිව හා ජාතිවාදයට එරෙහිව පෙනී සිටීම මෙන්ම ගොවි සහ කම්කරු පන්තිය මෙන්ම සෙසු පීඩිත ජනතාව මත පදනම් වූ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ ගොඩ නැගීම උදෙසා සටන් කරන බවද ශ්‍රීලංකා සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේය.

(ඉෂාරා අබේගුණසේකර)