රෝගී තත්වයකට පත්වී ඇඳිවතින් අනුරාධපුරය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි දරිද්‍රතාවයෙන් පෙළුණු තිදරු මවකට රෝගී සත්කාරය අභිභවා යමින් සිය මුදල් පසුම්බියෙන් මුදල් වියදම්කර ඇයට
අවශ්‍ය වූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් ලබා දෙමින් නයිටින්ගේල් ප්‍රතිඥාවට එහා යමින් කටයුතු කළ හෙදියක පිළිබඳව පසුගිය සිකුරාදා වාර්තා විය. ඉකුත් සිකුරාදා (16දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදි මනුසත් ගුණයෙන් හෙබි හෙදිය සිදුකළ ක්‍රියාව නේවාසික රෝගීන් බැලීමට පැමිණි විශාල පිරිසකගේ අවධානයට ලක්වූ අතර

ඇය රෝහලේ නේවාසිකව රෝගීන් ප්‍රතිකාර ලබන අංක තුන වාට්ටුවේ සේවය කරන්නීය.

සිය සැමියාගේ වෙන්වීමෙන් අනතුරුව අන්ත අසරණ භාවයට පත්ව සිටින තිදරු මව රෝගී තත්ත්වයට පත්වීම නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ තිබිණි. ඇයට දින කිහිපයක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබූ අතර ඇයට ප්‍රතිකාර ලබාදිමට පැමිණි හෙදියක පවසා තිබුණේ ඇඳ සිටිනා ඇඳුම ඉවත්කර වෙනත් ඇඳුමක් ඇඟලා ගන්නා ලෙසයි.ඒ අවස්ථාවේ රෝගී කාන්තාව විසින් ඉතා බැගෑපත්ව හෙදියට පවසා තිබුණේ තමන්ට ඇඳ සිටිනා ඇඳුම හැරෙන්නට වෙනත් ඇඳුමක් නොමැති බවයි.

සැමියා හැර ගොස් ඇති බැවින් ඇඳුම් ගෙන්වා ගැනීමටත් කිසිදු අයකු නොමැති බව ඈ හෙදියට පවසා ඇඳුමක් මිලදී ගැනීමට මුදල් සන්තකයේ නොමැති බවත් හෙදියට පවසා තිබුණාය. ඒ අවස්ථාවේ මුදල් පිළිබඳ

දෙවරක් නොසිතූ හෙදිය වාට්ටු විවේකාගාරයට ගොස් ඇය සතුව තිබූ මුදල් පසුම්බියෙන් මුදල් රැගෙන රෝහල් සේවිකාවක් අතට දී අහිංසක කාන්තාවට රෝහල තුළ ඇඳීමට සුදුසු ඇඳුම් කිහිපයක් රැගෙන එන ලෙස දන්වා තිබේ. රෝගී කාන්තාවට කරුණික අන්දමින් කතාබස් කරමින් ඇයට ඇඳුම් පැලඳුම් ලබාදිමට කටයුතු කළ තරුණ හෙදිය පිළිබඳ රෝගීන් බැලීමට පැමිණි විවිධ තරාතිරමේ පිරිල දැඩි අවධානයක් යොමුවී තිබිණි.

නයිටින්ගේල් ප්‍රතිඥාව ලබාදෙමින් හෙද වෘත්තියට පිවිසෙන ඇතැම් හෙදියන් රෝගීන්ට ඉතා අමානුෂිකව කෲර අන්දමින් සලකනු ලබන යුගයක මෙම තරුණ හෙදියන්ගේ ක්‍රියාකලාපය මුළු රටේම රාජ්‍ය සේවකයන්ට විශාල ආදර්ශයකි.

-මහේෂ් විජේසුරිය-