ව්‍යාපාරිකයෙකුගෙන් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව සිටි අයෙකු රෝහල්ගත කිරීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු පියවර ගෙන තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම, කොස්හේන පාර පදිංචි එක්දරු පියෙකු වන
කල්පගේ තරිඳු සඳරුවන් (අවු.26) නමැත්තෙකි.  පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පැහැර ගැනීමට යොදාගත් සුඛෝපභෝගී වෑන් රථයක්, පහරදීම‍ට යොදාගත් මොට ආයුධයක් හා පහර කෑ පුද්ගලයාගේ නිවසින්
රැගෙන ගිය රූපවාහිනී යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අමානුෂික අයුරින් පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පොලීසියට පැමිණිලි කිරීමට බියව සිටින බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා ඒ සම්බන්ධව වහා සොයා බැලීමට පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට කළ දැනුම් දීමක් අනුව එම පුද්ගලයා පානදුර මූලික රෝහලට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

බණ්ඩාරගම, නගරයේ තුරග තරඟ මධ්‍යස්ථානයක සේවය කළ පහර කෑමට ලක්වූ  පුද්ගලයා රුපියල් දාහත් දහසක මුදලක් සොරා ගත්තැයි පවසා ඉකුත් 24දා අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම පහරදීම සිදුකර තිබුණි.

එහිදී අදාළ ව්‍යාපාරිකයා අගතියට පත් පුද්ගලායාගේ නිවසට පැමිණ, ඔහුව වෑන් රථයකින්
නිවසෙන් රැගෙන ගොස් පහරදී මේ බව කිසිවෙකුට නොපවසන ලෙසට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

 පහර කෑ පුද්ගලයා සිය බිරිඳට හා මවටද. තමන්ට පහර දුන් බව නොපවසා යතුරුපැදියේ ගමන් කරන විට වැටුණු බවට සඳහන් කර තිබේ.

පසුදින (25දා) නැවත සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණ තිබූ පහරදීමට සම්බන්ධ ව්‍යාපාරිකයා නිවැසියන්ට සැක නොසිතන ලෙස පුද්ගලයාව නැවතත් නිවසින් පිටතට රැගෙන ගොස් ඔහුට අමානුෂික අයුරින් පහරදී නිවසට ගෙනගොස් දමා ඇති බවත්, එලෙස පහර දීමෙන් අනතුරුව ඒ බව කිසිවෙකුට හෝ පැවසුවහොත් තම බිරිඳ හා දරුවන් මරා දමන බවටද අදාළ ව්‍යාපාරිකයා තර්ජනය කළ බවටද පහර කෑ පුද්ගලයා කළ ප්‍රකාශයක සඳහන් වේ.

රුපියල් ලක්ෂ තිහක මුදලක් සොරාගත් බවට පිළිගන්නා ආකාරයෙන් තමා ලවා බලහත්කාරයෙන් ලිපියක්ද අදාළ ව්‍යාපාරිකයා විසින් ලියවාගත් බවත්, සැකකාර ව්‍යාපාරිකයා පහරකෑමට ලක්වූ පුද්ගලයා සොරාගත් මුදලට නිවසේ රූපවාහිනිය රැගෙන ගොස් ඇති බවත්  ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ.

-බිමල් ශ්‍යාමන්-