https://www.gossiplankanews.com/2019/08/boat-service-colombo-ibbanwala.html
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස (ඉබ්බන්වල හන්දියේ) සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ ක්‍රියාත්මක වන මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයක් පසුගියදා අරඹන්නට යෙදිණි.කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා
බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැකි බව දන්වා තිබේ.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට
නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර පසුව ගාස්තු හඳුන්වාදීමට නියමිතය.
 ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවත්වාගෙන යන මෙම සේවාවට දැනට යාත්‍රා 3 ක් ඇතුළත්ය.

එකක් වායුසමීකරණය කළ ආසන 50 යාත්‍රාවකි. අනෙක් දෙක ආසන 14 බැගින්වූ වායුසමීකරණය නොකළ යාත්‍රා දෙකකි. මේ යාත්‍රා තුනින් එක්වර 78 දෙනෙකුට ගමන් පහසුව සැලසේ. ඉදිරියේදී තවත් යාත්‍රා හඳුන්වාදීමට නියමිතය.

සැප්තැම්බර මුල් සතිය තෙක් සෑම දිනකම උදේ 7.30ත් 9ත් අතරත් සවස 3.30 ත් 5.30ත් අතරත් යාත්‍රා ධාවනය වන අතර ඒවා මිනිත්තු 20 කට වරක් නව ගමනක් ආරම්භ කරන බව දන්වා ඇත.

ඉදිරි මාස 6 ඇතුළත මෙම සේවාව වැල්ලවත්ත දෙසට හා බත්තරමුල්ල දෙසට දීර්ඝ කිරීමටද අපේක්ෂිතය. මෙවැනිම තවත් සේවාවක් කැලණි ගඟ ආශ්‍රිතව මට්ටක්කුළිය හා හංවැල්ල අතරද ක්‍රියාත්මක කිරීමට සැලසුමක් තිබේ. කොළඹ ඹීගමුව දක්වා මගී යාත්‍රා සේවයක් දක්වා මෙම කටයුතු ඉදිරියේදී වර්ධනය කරනු ඇත. මගී ප්‍රවාහන කටයුතු සාර්ථකවීමෙන් පසු දියමත භාණ්ඩ ප්‍රවාහනයටද මෙම සේවා පුළුල් කරන බව බලධාරීන් දන්වා තිබේ.