ප්‍රංශ ජනාධිපති ආර්යාවට අපහාස වන අයුරින් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ෆෙස්බුක් සමාජ ජාලය හරහා කළ අදහස් දැක්වීමක් මුල්කොට ගනිමින්, ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් සහ බ්‍රසීල
ජනාධිපතිවරයා අතර ඇයි හොඳයිකම් පිළුදු වී ඇත. ඇමසන් වනයේ ළැව් ගිනි පැතිරීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ දැඩි විවේචනයට ලක් වී සිටී.
බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කළ අයකු වන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය.බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය හිතුමතේ හෙළි පෙහෙළි කිරීමටත්, ගිනි තැබිමටත් බ්‍රසීල ජනාධිපතිවරයා සමාගම් රැසකට අවසර දී ඇත. ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි අන් කවරදාටත් වඩා මෙම වසරේ වැඩිවි ඇත්තේ එහෙයින් යැයි පරිසරවේදීහු පවා පෙන්වා දෙති.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්,
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ විවේචනය කිරීම මුල්කොට ගනිමින්, බ්‍රසීල ජනපතිගේ ආධාරකරුවකු මැක්රොන්ට අපහාස වන අයුරින් ෆේස් බුක් හරහා අදහස් දක්වා ඇත්තේ , ප්‍රංශ ජනපති ආර්යාවට අපහාස කරමිණි. 41 හැවිරිදි ජනපති මැක්රොන්ගේ විවාහ වී සිටින්නේ 67 හැවිරිදි බ්‍රිජෙත් ත්‍රොග්නෝට් සමඟය. මැය මැක්රොන්ගේ පාසල් ගුරුවරියයි.

බ්‍රසීල ජනපතිගේ ආධාරකරු ෆේස්බුක් හරහා ජනපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත්ගේත්, බ්‍රසීල ජනපති බොල්සරානෝ සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳ මිෂෙල්ගේත් ඡායාරූප පළ කරමින් ඒවා සන්සන්දනය කරමින්, බිජෙත්ගේ පෙනුම අවලස්සන යැයි පවසා ඇත. බ්‍රසීල ජනපති බොල්සරානෝ ද ඊට උඩගෙඩි දෙමින්, ප්‍රංශ ජනපති මැක්රොන් උපහාසයට ලක් කරමින් අදහස් ඉදිරිපත් කිරීමක් කර ඇත.

ජනපති මැක්රොන්ගේ අප්‍රසාදයට එය  හේතුවක්විය. ජනාධිපති  බොල්සරානො පෞද්ගලිකව තමන්ට එසේ අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවත් ජනපතිවරයකුට නුසුදුසු අයුරින් කටයුතු කරන මෙවැනි ජනාධිපතිවරයකු බ්‍රසීලයට නායකත්වය දිම බ්‍රසීල වැසියන්ගේ අවාසනාව බවත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවේ පවසා ඇත.