පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙන එන සමාජවාදී විකල්පය වෙනුවෙන් පරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා සැප්තැම්බර් මස පළමු සතියේදී ජනතාවට හඳුන්වාදෙන බව එම පක්‍ෂය සඳහන් කරයි.

බත්තරමුල්ල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (27දා) මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සංවිධායක ලේකම් කුමාර්  ගුණරත්නම් මහතා මේ බව ප්‍රකාශ කළ අතර, පුද්ගලයෙකු වටා ගොනු කරන තරගයකට වඩා දේශපාලන වැඩපිළිවෙළක් මෙමඟින් හඳුන්වා දෙනු ලබන බවද ඒ මහතා පැවසීය.


මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහතා,
"රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ බල අරගලයේ කොටස්කරුවන් බවට පත්ව තිබෙනවා. තවත් පැත්තකින් ජාත්‍යන්තර දේශපාලනයේ කලාපීය දේශපාලනයේදී චීනය, ඉන්දියාව වගේත් අනිත් පැත්තෙන් එක්සත් ජනපද අදිරාජ්‍යවාදයෙන් මේ රටේ දේශපාලනයට සෘජුව දැඩි බලපෑමක් සිදු කරමින් තිබෙන වෙලාවක තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරණ අවස්ථාව බොහෝ ලෙසම මේ රටේ වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු මහා ජනතාවගේ,මුලික ගැටලු, දැවෙන ප්‍රශ්න විසදීම සඳහා අවස්ථාවක් කර ගන්නවා වෙනුවට මෙය පැහැදිලිවම ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා පසුගිය දශක ගණනාවක් පුරා අපි අත්දැක තිබෙන නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකටයි බලාපොරොත්තු වෙන්නේ.

මෙහි ඛේදවාචකය තමයි රටේ පොදු මහ ජනතාවගෙනුත් සැලකිය යුතු පදාසයක් තමන් මුහුණ දෙන අර්බුද පැත්තක තියලා පක්ෂවලට බෙදී තමුන්ගේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා ඒ බලගැටුමේ කොටසුකරුවන් බවට පත්ව තිබීම. ඒ අනුව මේ රටේ ජනතාවට විවිධ බොරු මවා පට්ට බොරුකාර දේශපාලනය වෙනුවට ඇත්ත දේශපාලන විකල්පයක්, ඇත්ත ආර්ථික විසඳුම් සහිත ඉදිරි ගමනක් වෙනුවෙන් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.

නිදර්ශනී වික්‍රමසිංහ