පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි ඉන්දියානු තරුණියක් විවාහ කරගැනීමේ සූදානමක් පවතින බව මේ දිනවල විදෙස් මාධ්‍යන්ගේ දැඩි කථාබහට ලක්වන සිදුවිමක් බවට පත්ව තිබේ.

ඒ අනුව එම වාර්තාවල දැක්වෙන්නේ හසන් අලිගේ සහකාරිය ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පදිංචි තරුණියක් බවයි.

ඩුබායිහිදී පැවැති හසන් අලිගේ මිතුරකුගේ ප්‍රිය සම්භාෂණයක් අතරතුර හසන් අලි සහ අදාළ තරුණිය එකිනෙකා මුණගැසී ඇති බවත් ඔවුන්ගේ විවාහය ඩුබායිහිදි පැවැත්වීමට මේ
වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන් බවත් එම මාධ්‍ය වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබිණි. එමෙන්ම 'ශාමියා' නම් මෙම තරුණිය සමඟ හසන් අලිගේ විවාහ උත්සවය මෙම මස 20 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබීමද විශේෂත්වයකි.

එම වාර්තාවන්ට අනුව ඇය පෞද්ගලික ගුවන් සේවයක රැකියාවෙහි නියුතු වන අතර, එංගලන්තයේදි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා වර්තමානයේ සිය මවුපියන් සමහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පදිංචිවී සිටින බවද එම පාකිස්තානු වාර්තාවල සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් තම විවාහය සම්බන්ධයෙන් පැතිර යන ආරංචි පිළිබඳව සිය නිල ටිවිටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් හසන් අලි පවසා ඇත්තේ තම විවාහය මෙතෙක් ස්ථිර කර නොමැති බවත් පවුල් දෙක හමුවී සිදු කරනු ලබන සාකච්ඡාවෙන් අනතුරුව වැඩි විස්තර මාධ්‍ය වෙත ලබා දීමට කටයුතු කරන බවය.