https://www.gossiplankanews.com/2019/08/inside-report-aug25.html
නාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂක ලෙස තෝරාගෙන ඉදිරියේදී පොහොට්ටු-අත් සන්ධානයක් බිහිකර මෛත්‍රී ජනපති කර මහින්ද අගමැති කර ඉදිරි ආණ්ඩුව ගොඩනැගීමට සැලැස්මක් තිබූ අතර ඒ සඳහා පූර්ව කොන්දේසි සැපිරීමක් ලෙස පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මහින්ද
රාජපක්ෂ අගමැතිවරයා බවට පත් කිරීමට ජනපති ක්‍රියා කළේය. නමුත් එම කටයුතු සියල්ල නීතිය හමුවේ අකුළාගන්නට සිදුවීම නිසා එම ගිවිසුමට අදාළ කාරණා ගැන පාර්ශ්ව දෙකටම වගකීමක් තිබුනේ නැත.

මහින්ද තම සහෝදරයින් සමග එක්වී රාජපක්ෂ බල කඳවුරක් ලෙස පොහොට්ටුව මුල් කරගත් සන්ධානයක් තනන්නට යන්නේ ඉන් පසුවය. නමුත් ජයග්‍රහණය කළ පුංචි ඡන්දයට වඩා ජනපතිවරණයකදී ඡන්ද හැසිරීම වෙනස් නිසා යෙදිය යුතු සියලු උපායන් මගින් ඡන්ද ගොඩ වැඩිකිරීම වාසි බව මහින්ද කඳවුර විශ්වාස කරයි. මේ නිසාම තවමත් මෛත්‍රීපාලට හිතවාදී ශ්‍රීලනිප පිල එකතුකරගැනීමට මහින්දට

උවමනාවී තිබේ.

අනිද්දා (27) පොදුජන පෙරමුණු - ශ්‍රීලනිප සාකච්ඡා අලුත්වටයකින් යළි ආරම්භ වන අතර ඒ සඳහා මහින්ද මෙන්ම බැසිල්ද එක්වීම කැපී පෙනේ. අවසානයේ ගෝඨාභය සමග හමුවීමකටද මෛත්‍රිපාල සිරිසේන දින යොදාගෙන ඇති බව වාර්තාවේ.

මෙම සාකච්ඡාවලදී ඉදිරි ජනාධිපතිවරණය හා ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමට කොන්දේසි සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.
ජනාධිපතිවරයා මෙම හමුවට  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද එක්වන බවත් සාකච්ඡාවලට මීට පෙර සම්බන්ධ වූ කමිටු දෙක අසාර්ථක ලෙස එම කතා නිම කිරීම නිසා එම කටිටු දෙකද  වෙනස් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුවට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරු ජනාධිපති මමෙත්‍රීපාල සිරිසේස්ත මහතා විසින් පත්කරනු ලැබ සිටිති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කමිටුවට බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  පත්කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕනෑම පක්ෂයක් සමඟ සාකච්ඡා කොට එහි සහාය පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට ලබාගැනීමට එහි පක්ෂ නායකයෝ අවසර දුන් බවටද ආරංචි පළව ඇත.

පසුගිය අඟහරුවාදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට සෙසු පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව පසුගියදා ඩග්ලස් දේවානන්ද මහතා ඔහු හමුවිය. එදිනම පැවති වෙනත් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා සහ රවුෆ් හකීම් මහතා හමුවී ඇත. එහිදී පවත්නා දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ ලෙස කතාබහ කර තිබේ.


----------------

මේ අතර එජාපයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ දුර්මත විපක්ෂයට හිතවාදී මාධ්‍ය විසින් දිනෙන් දින නිර්මාණය කරමින් වපුරමින් පක්ෂය තුළ අර්බුදයක් පවතින ආකාරයට වාර්තා කරන බව එජාපය  චෝදනා කර තිබේ.
මෙම ගැටලුව එකතුවී විසඳාගත යුතුය යන්න නායක රනිල්ගේ අදහසවී ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉකුත් 21 වැනි බදාදා රාත්‍රී පැවැති එජාප ජ්‍යොෂ්ඨයින්ගේ සාකච්ඡාවකට මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගි වී ඇත. එජාප නායකයාට මෙම ඇමැතිවරුන් පෙන්වා දී ඇත්තේ දැනට පවතින අර්බුදය පක්ෂය දෙදරා යෑමකින් තොරව විසඳා ගත යුතු බවය.


අගමැතිවරයා එයට උනන්දුව දක්වා තිබෙන අතර බ්‍රහස්පතින්දා සිට දිනපතා රැස්වී ඉදිරිපත්ව තිබෙන නම් සම්බන්ධ අවසන් තීරණයකට එළැඹිමට දීර්ඝ විශ්ලේෂණ සිදු කරන්නට යෝජනා කර තිබේ. ඉදිරියෙන්ම පවතින නම් දෙක සජිත් හා කරු බවද අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම යෝජනා වී ඇති කතානායක කරු ජයසූරිය මහතා ස්වකීය අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.
තමා අපේක්ෂකත්වය භාරගන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුද රවුෆ් හකීම්, චම්පික, මනෝ ගනේෂන් ආදී සෙසු පක්ෂ සියල්ලද, එකම වේදිකාවකට පැමිණ තමන්ට සහාය දිය යුතු බවකි.
එසේම පක්ෂ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ද ස්වකීය නාමයෝජනාව බෙදීමකින් තොරව අනුමත කළ යුතු බවද ජයසූරිය මහතා කියා තිබේ.

ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (22 වැනිදා) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. විනාඩි විස්සක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය, ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඉල්ලීම ඉටු කරන්නේ නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටද තමන්ට ඉදිරියේදී හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුවය.

-------------

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයෙන් නම් කළ අනුර කුමාර දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරග කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අනුර එනු ඇත්තේ සීනුව ලකුණින් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ලේකම් ධුරය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නම වෙනස් කර ඒ යටතේ මැතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දැනට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සලකුණ වන කුසලානයෙන් තරග වදිනවාද සලකුණ වෙනස් කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් පැවසුවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ලියාපදිංචි පක්ෂයක නම සලකුණ වෙනස් කළ හැකි බවයි. එහෙත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ඇති නිසා නව පක්ෂ ලියාපදිංචි කිරීමට නොහැකි බවද දන්වා ඇත.