කඹුරුපිටිය, ආඳපාන මූලික රෝහලේ තුන්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු 27 වැනි
දින රාත්‍රි 7.00 ට පමණ තට්ටු තුනක ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට පැනීම නිසා බරපතළ
තුවාල සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මිරිස්වත්ත,
ලිංවලහේන පදිංචි එල්.පද්මසිරි නමැති (57) හැවිරිදි අයෙකි.
මියගොස් සිටින පුද්ගලයා විසිහතර වැනි දින හෘද රෝගාබාධයකට ලක්ව ප්‍රතිකාර ලබාගැනීම සඳහා
රෝහලට ඇතුළත් වී ඇති අතර,වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව එම රෝගියා සුව වෙමින් සිටි
බවත්,යහපත් මානසික තත්ත්වයකින් පසුවූ බවත් වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ද එදිරිසිංහ මහතා පැවසීය.
එම රෝගියා රෝහල් වාට්ටුවෙන් බිමට පැණීම නිසා හිසට බරපතළ තුවාල සිදුවී තිබුණු බැවින් කඩිනමින් දැඩි
සත්කාර ඒකකයට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත්, රෝගියා සුවපත් කිරීම සඳහා
වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉමහත් පරිශ්‍රමයක් දැරූ බවත් වෛද්‍ය එදිරිසිංහ මහතා වැඩිදුරටත්
සඳහන් කළේය.

තිහගොඩ කැලුම් පලොල්පිටිය