අතුරුගිරිය - පෝරේ ගල්පොත්ත මාවතේ ශ‍්‍රී ධර්මවිජයාශ‍්‍රම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් පැහැරගෙන යෑමට තැත් කළ බව කියන සිද්ධියේ හතර දෙනකුගෙන් සමන්විත පිරිස අතරින් එක් සැකකරුවකු අතුරුගිරිය පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන මහෙස්ත‍්‍රාත් කමල් විජේසිරි මහතා (17 වැනිදා) නියෝග කළේය.
 බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසියට භාරදී සිටියදී ප‍්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

 පැහැර ගෙන යෑමට තැත්කළ බව කියන මස්සැන්නේ විජිත හිමියන් පසුගිය 10 වැනිදා දහවල් විහාරස්ථානයේ සිටියදී වෑන් රියකින් පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නාඳුනන කණ්ඩායමක් විසින් අසාධ්‍ය
රෝගී කාන්තාවකට සෙත් පිරිත් දේශනාවක් කරගැනීමට හෝමාගම රජයේ රෝහලට යෑමට පැමිණෙන ලෙසට ඉල්ලා සිටිමින් උන්වහන්සේ උපායෙන් රවටාගෙන යෑමට උත්සාහ කර ඇතැයි හිමිනම පොලිසියට පැමිණිලි කර තිබිණ.

 ඒ මොහොතේ හිමිනමට ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව එම ගමන යෑම ප‍්‍රතික්‍ෂේප කළ උන්වහන්සේ එක් පුද්ගලයෙකු අත තිබූ ලිපි ගොනුවක් පරීක්‍ෂා කිරීමේදී බියට පත් සැකකරුවන් වෑන් රියට නැගී පලා ගිය බවද වැඩිදුරටත් පැමිණිලි කර ඇත.

 පසුව අතුරුගිරිය පොලිසිය මගින් සිදුකරනු ලැබූ මූලික පරීක්‍ෂණ වලදී ඔවුන් පැමිණි වෑන් රිය ජාඇල ප‍්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

 විහාරස්ථානයේ සීසීටීවී ආරක්‍ෂක කැමරා රූපරාමු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී බොරැල්ල ගෝතමී පාරේ නිවසක් හදිසි පරීක්‍ෂණයට
ලක්කර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු දිසානායක මුදියන්සේලාගේ ලහිරු සඳරුවන් (27) නමැති පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුරටත් විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

 අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඒ. එස්. ඩබ්ලිව්. කුමාරජීව මහතාගේ අධීක්‍ෂණය ඇතිව පොලිස් පරීක්‍ෂක මල්ලවආරච්චි හා පොලිස් සැරයන් සුජීව යන මහත්වරු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළහ.


 පියදාස රණසිංහ සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්