හම්බන්තොට ප්‍රදේශයේ රාත්‍රී බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර  කළ බව කියන පොලිස් සැරයන්වරයෙකු මගීන්ගෙන් පහරකෑමේ සිදුවීමක් වාර්තාවේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
තිස්සමහාරාමයෙන් බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා  බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙයි.
එහිදී දියණිය පසුපස අසුනේත් මව ඉදිරි අසුනකත්
අසුන්ගෙන ඇත.
පොලිස් නිළධාරියා දියණිය අසල සිට ඇති අතර ටික දුරක් යද්දී ඔහු ඇයව ස්පර්ශ කිරීම නිසා කලබලයට පත් ඇය කිසිවක් නොකියාම  එම ස්ථානයෙන් නැගිට මව අසලින් හිටගෙන ඇත. එවිට පොලිස් නිළධාරියාද එම ස්ථානයට පැමිණ මවට පිටුපස අසුනේ වාඩි වී ඉදිරියෙන් සිටින මවගේ ශරීරය ස්පර්ශ කිරීමට උත්සාහ ගෙන ඇති බව වාර්තාවේ.
එම අවස්ථාවේ 'මෙන්න මේ මිනහට අමාරුවක් හැදිලා..' යයි මව කෑ ගසා ඇති අතර පොලිස් නිලධාරියා තමන් කිසි වරදක් නොකළ බව කියමින් මව හා දියණියට දොස් පවරන්නට පටන්ගෙන ඇත.
පොලිස් නිලධාරියා සමග බහින් බස් වෙමින් මවත් දියණියත් බස් රථයේ දී කලබලකාරීව හැසිරීම නිසා බස් රථයේ ගමන් ගත් සෙසු මගීන් ඊට මැදිහත්ව තිබෙයි.
පසුව පොලිස් සැරයන්වරයා බස් රථයේදී පහරකෑමට ලක්ව ඇති අතර පසුව බස් රථය  හම්බන්තොට බස් නැවතුම්පලට පැමිණි පසු පොලිස් සැරයන්වරයාව හම්බන්තොට පොලිසියට බාර දී තිබෙයි.
පසුව හම්බන්තොට පොලිසියෙන්ද ඔහු පැන ගොස් ඇති වව වාර්තාවන අතර  ඊට යාබද ස්ථානයක සැඟවී සිටියදී යළිත් පිරිසක් අල්ලාගෙන ගොස් පොලිසියට භාරදීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වු සැකකාර පොලිස් නිළධාරියාව ඊයේ (24) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට  ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

සනත් ගමගේ