සිංහල ජාතිකයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒක්කකය අත්ඩංගුවට ගත් සැකකරුවකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ නිට්ටඹුවේ පදිංචි රම්සි පූනාර් අනීෆ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් නමැත්තාය. කොළඹ මධ්‍යම කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී. නිශාන්ත ද සොයිසා මහතාට ලද
තොරතුරක් මත සිංහල නමකින් පෙනී සිටිමින් උසස් පොලිස් නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයකු බව අගවා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සහ අයි.එස්.අයි.එස්. මතවාද පතුරුවමින් සිටි බවට සැකපිට මෙම සැකකරු ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගෙන

රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික පනතේ 6 (1) ප්‍රකාරව පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අධිකරණය
වෙත ඉදිරිපත් කළ බව කෙසේල්වත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

මෙම සැකකරු සේවය කරන මරදාන ප්‍රදේශයේ පිහිටි පෙගද්ගලික ආයතනයට "හර්ෂන්" ලෙසින් පෙනී සිට ඇති බවත්, බිරිඳ සිංහල කාන්තාවක වන අතර ඇගේ පියා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් සැකකරු එම සේවා ස්ථානයට සඳහන් කර ඇතැයිද කෙසෙල්වත්ත පොලිසියේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක ජයරත්න මහතා අධිකරණයට සඳහන් කළේය.

එසේම මෙම සැකකරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලිපි ශීර්ෂය යොදාගනිමින් එම කොමිසමේ සේවය කරන බවට සඳහන් ලේඛන නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනකුට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද

කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකරුගේ රියැදුරු බලපත්‍රයේ රම්සි පූනාර්  අනීෆ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් ලෙසත් එහි ජාතික හැඳුනුම්පත් අංකය 793110588 ලෙසත් උපන්දිය 1979.11.06 බවටත් සඳහන්ව ඇති අතර සැකකරු එම රියැදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ලබාගෙන එය ඔහුගේ පරිගණක භාවිතා කර රම්ස්ටන්ලාගේ ජුහානිස් ආරියලාගේ  මුදියන්සේලාගේ ඉෂාර හර්ෂණ බස්නායක ලෙසත්, උපන්දිනය 1989.11.06 ලෙසත් ජාතික හැඳුනුම්පත් අංකය 853110588 ලෙසත් වෙනස් කර අන්තර්ජාලය තුළ පණිවුඩ හුවමරුකර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

එසේම මෙම සැකකරු සිංහල ජාතිකයකු ලෙස පෙනී සිටිමින් දුරකථන සංවාද පවත්වා ජාතිවාදී මුස්ලිම් අන්තවාදය ප්‍රචලිත කිරිමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ  සම්බන්ධයෙන් දුරකථන වාර්ත කැඳවිය යුතුව  ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය  සැකකරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර චෝදනා නැගීමට අදාළ සවිස්තර වාර්තාවක් එදිනට  අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට  කෙසෙල්වත්ත පොලිසියට නියම කළේය.

-නිමන්ති රණසිංහ-