පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සහභාගිවීම නිසා, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික
ධුරයෙන් තමා ඉවත් කර ඇතැයිද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු
කිරීම  සඳහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන කටයුතු කරන්නේ යැයිද
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පැවැසීය.
දිසානායක මහතාගේ නිවෙසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
තමා එම සම්මේලනයට සහභාගි වූයේ ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාත්, පක්ෂයත්
එපා කියද්දී යැයිද දිසානායක මහතා පැවැසීය.

“ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ නම් අතරින් කෙනකු තෝරා
ගැනීම, මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නා. මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා
කරලා ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කළා” යැයිද දිසානායක මහතා පැවැසීය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා රාත්‍රි භෝජන සංග්‍රහයකට පැමිණෙන ලෙස ඇරයුම් කළා. අපි එදා
සම්මේලනයට ගිය එකට විරුද්ධ වුණු සියලුදෙනාම ඒ භෝජන සංග්‍රහයට පැමිණියා. ආවේ නැත්තේ තුන්
දෙනයි. සම්මේලනයට යෑම වැරැදියි කියපු අය එදා ඒ භෝජන සංග්‍රහයට ආවා” යැයි එස්.බී.
දිසානායක මහතා සඳහන් කළේය.

ජේ.ටී. ද සිල්වා