https://www.gossiplankanews.com/2019/09/10-flood-updates-sept24.html
යේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ලංකාවේ දකුණු දිග ප්‍රදේශයටය. ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම 'මහ ගංවතුර' මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින්
පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.මහ ගංවතුර මට්ටම ලෙස මීටර 05ක්  වන අතර බද්දේගම ජල මට්ටම මේ වන විට මීටර 4.57 දක්වා ඉහළ ගොස් ඇත.තවලම ජල මිනුම් ස්ථානයේ මේ වන විට මීටර 3.36 දක්වා ජල මට්ටමක් පෙන්නුම් කර ඇත.
එබැවින් පහල ධාරා ප්‍රදේශයේ ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත.
අද (24) පෙරවරු 10 න් අවසන් වු පැය 12 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොමැති වුවත් පෙර දිනයේ වර්ෂාපතනය හේතුකොට ගෙන ඉහළ නැඟ තිබු පහළ ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ක්‍රමයෙන් ඉහළ නගිමින් පවතින බව දන්වා ඇත.
දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජලමට්ටම ක්ෂණික අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් දන්වා ඇත.


ගිංගගේ පොම්පාගාර 10ම ඇරලා

ගිංගඟ ජල යෝජනා ක්‍රමය මගින් පාලනය වන පොම්පාගාර 10ම ක්‍රියාත්මක වන බවත් මේ වනවිට එම පොම්පාගාර මගින් ආරක්ෂිත කලාපයේ ඇති ජලය ඉවත් කරමින් පවතින බවත් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි.
ගිංගගේ ජල මට්ටම වැඩිවු විට ආරක්ෂිත කලාපයේ ජලය බැස නොයන බැවින් පොම්පාගාර මගින් ආරක්ෂිත කලාපයේ එක් රැස්වී ඇති ජලය  ගඟට මුදාහරින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
අද (24) උදෑසන වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ  ජල මට්ටම හා තවලම ජලමාපකයේ ජල මට්ටම ඉහළයාම මත මෙම පියවර ගෙන තිබේ.


විදුලි විසන්ධිය

පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයින් අට දහසකගේ විදුලි බලය විසන්ධි කර තිබේ.
විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දහසකගේ ද මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් හත් දහසකගේ ද විදුලිය බලය විසන්ධි කර ඇතැයි ඔහු පැවසී ය.


උසස් පෙළ සිසුන්ට නිවේදනය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටීමට නොහැකි වන සිසුන් වෙනුවෙන් වෙනත් දිනයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙයි.
උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද (24) දිනයේ සිට ආරම්භ කරන්නට නියමිතව තිබුණි.
වර්ෂාව පවතින ප‍්‍රදේශවල සිසුන්ට ගංවතුර හා ප‍්‍රවාහන අපහසුතා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වේ නම් 1911 අංකයට දැනුම් දෙන ලෙසද දන්වා තිබුණි. ඒ අනුව වෙනත් දිනයක් ලබාදෙනු ඇත.



අධිවේගයේ ගමන්ගන්නා රථවලට ඉදිරිපස බල්බ දැල්වීමට උපදෙස්

අධික වර්ෂා තත්වය යටතේ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී රථවල ඉදිරිපස ප්‍රධාන බල්බ දල්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් දී තිබේ.
අධිවේගී මාර්ගයේ රිය අනතුරු වළක්වා ගැනීම සඳහා පැයට කිලෝමීටර් 60ක පමණ පාලනය කළ වේගයකින්  රිය ධාවනය කරන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් හා අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී.කහටපිටිය මහතා රියැදුරන්ට දැනුම් දෙයි.
“වැසි තත්වය හේතුවෙන් මීටර් 30කට එහා කිසිවක් පෙනෙන්නේ නෑ. රියැදුරන් මේ කාලගුණික තත්වයේදී රිය ධාවනයේදී ප්‍රවේශම් විය යුතුයි” යැයි ඒ මහතා කියාසිටී.

රට යන අය කටුනායකට කලින් එන්නලු

මෙම අධික වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශය පුරා සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සඳහා පැමිණෙන ගුවන් මගීන් , තම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

ජනපතිගෙන් පියවර

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව තිබු සාකච්ඡාවේදී මේ ගැන කතාවී තිබේ.
එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.
ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කාලගුණ නිවේදනය

ඉදිරි පැය කිහිපය තුළත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මෙම තත්ත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා පවතිනු ඇතැයි අපේක්‍ෂා කරයි.
විශේෂයෙන් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැක.
වයඹ, උතුරු, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ නිවේදනය කරයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක.
ගතවූ පය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේ‍ශයෙන් වාර්තා විය.එය මිලිමීටර් 219.1 ලෙස වාර්තා වි තිබේ.
මේ අතර‍, දිවයිනට බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශවල ක්ෂණික රළු වීමට ඉඩක් පවතියි. ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්‍නැයි කාලගුණ අංශ නිවේදනය කරයි.