වඳුරඹ නාවල කෝකාවල ප්‍රදේශයේ පස් කන්දකට යටවී මියගිය තිදරු මවගේ පවුලේ ඥාතීන්ට් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට නියමිත බව බද්දේගම ප්‍රාදේශියෙ ලේකම් ජානක ගුරුසිංහ මහතා පැවැසීය.

එම සිද්ධියට පෙර ඉඩමක් මිලදී ගැනීම සඳහා රජය ලක්ෂ හතරක මුදලක් හා නිවෙසේ අත්තිවාරම දැමීමේ සඳහා ලක්ෂ
දෙකක මුදලක් ලබාදී ඇති බව  මේ පිළිබඳව  කළ වීමසුමකදී ප්‍රාදේශීයෙ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා මෙසේද කීවේය. 'ඇත්තටම මේ අය පදිංචිවෙලා සිටියේ අනවසර ඉඩමක. 2017 වර්ෂයේ මේ කන්ද නාය ගියා. පසුව මේ අයට මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දීලා තිබුනා. නමුත් වසර දෙකක් යනකම් මේ අය ඉවත්වුණේ නැහැ. 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ තමයි එම ස්ථානයෙන් ඉවත් වන  බව
කියලා දිවුරුම් පෙත්සමක් ගෙනත් දුන්නේ. හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මේ පවුලේ අයට බද්දේගමින් ඉඩමක් ලබාදීමට කටයුතු කරලා තිබුණා. නමුත් දුර වැඩි නිසා ඒ අය එම ඉඩම භාරගෙන නැහැ.

එම ස්ථානයෙන් ඉවත්වන බවට දිවුරුම් ප්‍රකාශය ලබාදුන්නාට පසු ඉඩම මිලදී ගන්න ලක්ෂ 4ක මුදලක් ලබාදුන්නා. දැනට සති 8දාක තුනකට කලින් තමයි නිවසේ අත්තිවාරම දමලා තිබුණේ. ඒ සදහා ල 2ක මුදලක් ලබාදුන්නා. නිවසේ  වැඩ කරලා පෙන්නුවාට පසු තමයි මුදල් නිදහස් කරන්නේ.තවත් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට තියෙනවා, ආපදා කළමනාකරණ අමාතයංශය මගින් තමයි මෙම මුදල වෙන් කරලා තියෙන්නේ" යැයිද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

මියගිය තැනැත්තියගේ සැමියා වන තෙලිකඩ පල්ලියගුරුගේ නලින් වසන්ත මහතා (45) මෙසේ කීවේය.

 '2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 07 වැනිදා තමයි මේ කන්ද මුලින්ම නාය ගිය. අපට ඉවත් වෙන්න කීවා. නමුත් අපට යන
තැනක් තබුණේ නැහැ. නාය ගිහින් වසර දෙකක් ගියාට පස්සේ තමයි. ඒ කියන්නේ 2019 වර්ෂයේ මැයි මාසයේ විතර ඉඩමක් ගන්න ලක්ෂ 4 ක් රජයෙන් දුන්නා. හිතවත් අයකුගෙන් ලක්ෂ 8කට තමයි ඉඩම ගත්තේ. නිවෙසේ අත්තිවාරම දමන්න ලක්ෂ තුනහමාරක් විතර ගියා. දැනට රජයෙන් ලැබිලා තියෙන්නේ ලක්ෂ දෙකයි, මමත් නෝනත් එක්ව සණසේ ගිණුමක් ඇරලා ණයක් ඉල්ලුම් කරල තිබුණ. දැන් ආය ගන්න විදියක් නැහැ.'

මාපලගම - රසික සෙනවිරත්න