ගාල්ල නගරයට පැමිණෙන පුද්ගලයන්ගේ දේපොළ සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් බාලවයස්කාර දෙසොහොයුරෝ මෙම මස 16දා දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (02) නියෝග කළේය.
පිලාන, නිවිතිපිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 12, 15 හැවිරිදි දෙසොහොයුරෝ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. සැකකාර දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් එදිනට පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තලාපිටිය ජුම්මා පල්ලියට පැමිණි

පුද්ගලයකුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය සොරකම් කළ බවට ගාල්ල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ එහි නිලධාරින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන් සන්තකයේ තිබූ  සොරකම් කරන දේපළවලින්  කොටසක්ද පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. මීට පෙර ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ දිය නාමින් සිටී පුද්ගලයන්ගේ මුදල් පසුම්බි  සොරකම් කර ඇත්තේ ද මෙම දෙදෙනා බවට පක්ෂණවලදී  අනාවරණය වී ඇති බවද පොලීසිය  පවසයි. ඔවුන් සමග සොරකම්වලට සම්බන්ධ ඔවුන්ගේ මිතුරෙකු වන තවත් 12 හැවිරිදි සිසුවෙකුද මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ මව නොමැති අතර ඔවුන් පියා සමග ජීවත් වන බවද පොලීසිය පවසයි.  ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන  අංශයේ ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක දිනේෂ් නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සංජීව කොස්තාපල් මධුසංක යන මහත්වරුන් විසින් සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

-රවිඳු දියගහගේ-