හිල්ටන් හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණි ඇමෙරිකන් ජාතිකයන් හය දෙනකු මෙරටට රැගෙන ආ ගමන් මලු හයක් හිල්ටන් හෝටලයේ ආරක්ෂකයන්ට පරීක්ෂා කිරීමට ඉඩ නොදී ඇමෙරිකානු තානාපති කාර්යාලයට රැගෙන ගොස් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කොළඹදී ඊයේ (4දා)

සවස පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ බව අනාවරණය කළේය.

මේ සිද්ධිය සිදුවී ඇත්තේ ජූලි මස 30දාය. ඇමෙරිකානු රාජ්‍ය ගුවන් යානයකින් පැමිණි මේ ඇමෙරිකානු
ජාතිකයන් හය දෙනා හිල්ටන් හෝටලයේ නවාතැන් ගන්න ගිහින් තියෙනවා. එහි ආරක්ෂකයන් මොවුන් අත තිබූවිශාල ගමන් මලු හයක් පරීක්ෂා කරන්න උත්සාහ කරද්දී ඔවුන් ඊට එරෙහි වෙලා තියෙනවා. ඊට ටික
වේලාවකට පසු ශ්‍රී  ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අංක KL6586 දරන ජීප් රථය
පැමිණ ගමන් මලු ටික අරගෙන ගොස් තිබෙනවා.

අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ ගමන් මලු ගුවන් තොටුපොළේදී පරීක්ෂාවට ලක් වුණේ නැත්තේ ඇයි කියලයි.
අනෙක ඔවුන් ගමන් මලු ස්කෑන් පරීක්ෂාවට ඉඩ ලබා නුදුන්නේ ඒවා තුළ සැකකටයුතු දේ තිබුණු නිසාද? මේ
ආකාරයට වරින් වර මෙරටට පැමිණෙන ඇමෙරිකානුවන් රහසින් මෙරටට රැගෙන එන්නේ මොනවාද? මේ
පිළිබඳ තොරතුරු රජය ජනතාවගේ දැනගැනීමට ඉදිරිපත් කළ යුතු බවද මන්ත්‍රිවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර