LTTE සංවිධානයේ රත්තරන් තොගයක් ගොඩ ගැනීම සඳහා වවුනියාවේ මිනී කනත්තක් හෑරූ සැකකරුවන් අටදෙනකු ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයේ තබන ලෙස වවුනියාව මහෙස්ත‍්‍රාත්වරයා 28 වැනිදා නියෝග කොට තිබේ.

වවුනියාවේ නෙලූකුලම පොලිසියට 27 වැනිදා රාත‍්‍රී ලැබුණු තොරතුරක සඳහන්ව ඇත්තේ වවුනියාව රාසේන්ද්‍රකුලම මිනීකනත්ත කිසියම් පිරිසක් විසින් හාරන
ශබ්දයක් ඇසෙන බවයි.

පොලිසිය එම ස්ථානයට යන විට ඔවුන් රාසේන්ද්‍රකුලම් මිනී කනත්ත හාරමින් සිට ඇති අතර ඔවුන් පොලිසියට පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් වළ දමා ඇති රත්තරන් තොගයක් ගොඩ ගැනීම සඳහා වළක් හාරන බවයි.

එම වළ හෑරීමට උපයෝගී කරගෙන තිබූ උදලූ, අලවංගු, පිචස් ඇතුළු උපකරණ සමග පොලිසිය සැකකරුවන් අටදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

වවුනියාව නෙලූකුලම පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ