නෙළුම් කුලුන ඉදිකිරිම් සඳහා අත්තිකාරම් වශයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඇමරිකානු  ඩොලර් 15,644,980ක් ගෙවු බවත් එම සම්පුර්ණ මුදල කුලුන ඉදි කිරිමේ කටයුත්ත සඳහා පමණක් යොදාගත් බවත් විමර්ශන ලෝන්ග් මාච් ඉන්ටනැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
චීනයේ එක්සපෝට්-ඉම්පෝට් බැංකුව හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම 2012 වසර ඔක්තෝබර් 9 වැනිදා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්ස්පෝටර්ස් කොපරේෂන් (සි.ඊ.අයි.ඊ.සි) සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල් ගෙවා ඇතැයි ද ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නෙළුම් කලුන ඉදි කිරීම සඳහා 2010 වසරේ අගෝස්තු මාසයේදී සී.ඊ.අයි.ඊ.සී සමගම සමඟ එක්ව එක් සමාගමක් ස්ථාපිත කළ බව ද ඇලිට් සමාගම සඳහන් කරයි. නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබුවේ 2012 වසරේදි බවත් 2015 වසරේදි කුලුන ඉදි කිරීමේ ඉදිරි කටයුතුවල පූර්ණ වගකීම් සි.ඊ.අයි.ඊ.සි සමාගමට ලබාදුන් බවත් ඇලිට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත. එය ජාත්‍යන්තර ව්‍යාපාරික පිළිවෙත්වලට අනුකූල බව ද ඇලිට් සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

නෙළුම් කුළුන විවෘත කිරීම ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් බවත් එපමණක් නොව එය ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍රශීලි සහයෝගීතාවයේ සංකේතයක් බවත් ඇලිට් සමාගම සඳහන් කර ඇත. රාජ්‍ය සමාගමක් වන අප සමාගම රටවල් 40කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බවත් පාරිභෝගිකයන් ඉහළම විශ්වාසය  දිනාගෙන ඇති බවත් ඇලිට් සමාගම තවදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍ර සබඳතා පෝෂණය කරන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වන බව ද ඇලිට් සමාගම වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
නෙළුම් කුලුන ඉදි කිරිම සඳහා මන්ත්‍රී පාර්ශවය ගිවිසුම්සකට අත්සන් තැබු බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවු රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා චෝදනා කළේය. නෙළුම් කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

මේ සම්බන්ධයෙන් චිනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු- මහතා ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අතර ඇලිට් සමාගම වෙනත් ස්ථානයක තිබෙන බව එම නිවේදනයේ දැක්විණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද කරුණාසේන කොඩිතුවක්කු මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.


-තුෂාර සිල්වා-