අවස්ථා තුනකට වඩා මඟීන්ට පත්‍ර නොදෙන පෞද්ගලික බස් රථවල මාර්ග බලපත්‍රය අහෝසි කරන බව
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්දු තුසිත තුලරත්න මහතා පැවැසීය.

මඟීන්ට ප‍්‍රවේශ පත්‍ර ලබා නොදෙන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් ඊයේ (18) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ද පැවැසු සභාපති තුසිත මහතා අධිකාරියේ මාර්ග
පරික්‍ෂකවරුන් කණ්ඩායම් 12ක්  ඊයේ (18) උදේ 6.00 සිට බස් රථ පරික්ෂා කිරිම සිදු කළ බව ද
කිය.

අද (19) සිට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවැසූ හෙතෙම රියැදුරු, කොන්දොස්තර නිල ඇදුම් පිළිබඳ සොයා බැලීම, කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරිම සහ බල අඩුපාඩු සොයා බැලීම මෙම බස් රථ පරික්ෂා කිරිමට තවත් අරමුණු බව ද පැවැසීය.

ගාස්තුවට සරිලන ප්‍රවේශ පත්‍රයක්  සෑම මගියකුටම ලබාදීම අනිවාර්යය කර තිබියදී තවමත් ප්‍රවේශ පත්‍ර නොදෙන බස් රථවලට පළමු අවස්ථාවේදී රුපියල් 250ක  ද දෙවැනි අවස්ථාවේදී රුපියල් 500ක ද තුන්වැනි අවස්ථාවේදී රුපියල් 750ක ද දඩයක් එම අවස්ථාවේදී නියම කරන බන් ඊළග අවස්ථාවේ බස් රථයේ මග බලපත්‍රය අහෝසි කිරිමට පියවර ගන්නා බව ද සභාපති තුසිත මහතා කීය. මෙම බස් රථ පරික්ෂා කිරීම මාර්ග
පරික්ෂකවරු බස් රථ තුළට ගොඩවී  සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

-මහින්ද නිශ්ශංක-