පෞද්ගලික සමාගමක් මෙරටට ගෙන්වූ විදේශ රටක නිෂ්පාදිත, ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු සායනික පරික්ෂණයක් ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ අනාවරණය විය.
අදාළ කැස්ස පැණිය වෙළඳපළට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරික්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇති අතර, එය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.

මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරික්ෂණයක් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේය.මේ තොරතුරු
අනාවරණය වූයේ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ප්‍රධාන ගණකාධිකාරි තුෂාර මහානාම යන මහත්වරුන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට ඉකුත් 20  වැනිදා කැඳවා තිබූ අවස්ථාවේදීය.


විදේශයකින් ගෙන්වූ මෙවැනි ඖෂධයක් සම්බන්ධ සායනික  පරික්‍ෂණයකදී මුලින්ම එය ලබාදිය යුත්මන් සතුන්ට බව කෝප් කමිටුව හමුවේ පෙනී සිටි දේශීය වෛද්‍ය  විද්‍යායතනයේ ප්‍රධානීහු ද මෙහිදී
පිළිගත්හ. එමෙන්ම මෙවැනි සායනික පරික්ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින් ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය  ලබාගෙන ඇතැයි ද මෙහිදී සඳහන් විය.

කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මහාචාර්යවරයා එම ආචාරධර්ම කමිටුව නියෝජනය කරන බවද කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.එම පරික්‍ෂණය වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ලැබිය යුතු ආදායමක්ද එම මහාචාර්යවරයාගේ නමින් ගෙන ඇති බව විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුනෙත්ති මහතා කිවේය.

 "කැස්ස පැණිය" වෙළෙඳ පොළට නිකුත් කරන විට ප්‍රචාරණ කටයුතු 
වෙනුවෙන් 2018 වසරේ පුවත්පත්වල
පළ කර ඇති වෙළඳ දැන්වීම්වලද  ‘දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව”
සඳහන් කර තිබෙන බව ද කෝප් කමිටු  සභාපතිවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති  සුනිල් හදුන්නෙති මහතා සිදුකළ විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත්.

තමාට ඒ බව සදහන් විගණකාධිපති වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරිම සඳහා කමිටුවක් පත්කළ බවත්ය. එම කමිටුවේ අවසන් වාර්තාව තවම සකස් වී ඇතැයි ද ඇය කීවාය. දැන්වීම් පළ කිරීමේදී 'දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව” සඳහන් කිරිම සම්බන්ධයෙන් තමා අදාළ සමාගම මෙන් විමසීමක් කළ බවත්, එය ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් කමාට ලිඛිතව දැනුම්දීමක් කළත් යළිත් නිවැරදි කර පුවත්පත් දැන්වීමක් පළ නොකළ බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනය නේවාසිකාගාර ගැටලුවක් හේතුවෙන් මේ දිනවල වසාදමා තිබුණ ද එහි නේවාසිකාගාර පහසුකම් ලබාගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වෙන්කළ රුපියල් මිලියන 101 ක මුදලක් නැවත හරවා යවා ඇති බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සාමාජිකයකු වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ විශාල වියදමක් දරමින් එක් එක් ස්ථානවල කුලී නිවාස නේවාසිකාගාර ලබාගැනීම වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යායතනය වෙනුවෙන්ම ස්ථිර නේවාසිකාගාරයක් ඇතිකිරීම වඩාත් සුදුසු බවයි.

එමෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල හා සසඳන විට දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුල් වන සිසුන් අතරින් අධ්‍යයන කාලවකවානුව තුළදි විශ්වවිද්‍යාලය හැර යන පිරිසේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් වහාම ඒ ගැන පසුවිපරමක් සිදුකරන ලෙසද සුනිල් හදුන්නෙත්ති මහතා නියෝග කළේය.

දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පශ්චාත් උපාධි ගිණුමෙහි ඇති රුපියල් ලක්‍ෂ 27ක මුදලක් ස්ථාවර ගිණුමක තැන්පත් නොකර ජංගම ගිණුමක පවත්වා ගැනීම හේතුවෙන් වසර පහක් තුළ රුපියල් ලක්‍ෂ  13කට අධික මුදලක් ආයතනයට අහිමි වී ඇති බවට 2014 දී කෝප් කමිටුව දැනුම් දී ඇතත් ඔවුන් එම නිර්දේශය ක්‍රියාත්මක කර ඇත්තේ 20 වැනිදා මකෝප් කමිටුව හමුවට පැමිණීමට දින කිහිපයකට පෙර ඉකුත් 17 වැනිදා බව ද මෙහිදී හෙළි විය.

-ඩයනා උදංගනී-