කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් හිටිපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ලබන 26 වැනිදා හා 28 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (25දා) නියම කළේය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවත්, එහෙයින් ඒ සඳහා අවසර දෙන ලෙසත් රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අවසර ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.

2008 අගෝස්තු 08 වැනිදාත්, සැප්තැම්බර් මස 17 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී
කස්තුරුආරච්චිගේ ජෝ රීටි, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජීත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැති පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වූ බවට පැවසෙන සිද්ධියකට අදාළව පරීක්‍ෂණ සිදුකරන ලස හිටපු නාවික හමුදාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුවට පැමිනිළි කොට තිබූ අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුනෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් සිද්ධිය සමිබන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දින හතරක කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගත් බවත්, පසුව කරන්නාගොඩ මහතාගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙද ප්‍රකාශ ලබාගත් අතර, එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පිළිබදව පරීක්‍ෂණ සිදුකරන හෙයින් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් යළි ප්‍රකාශ ලබාගත යුතු බව මෙහිදී ප්‍රකාශ කළේය.

කරන්නාගොඩ මහතාට ප්‍රකාශය ලබා දීම සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් ඒ මහතාගේ බිරිඳගේ අසනීප තත්වයක් හේතුවෙන් පැමිනීමට නොහැකි වූ බවට ඔහු දැනුම්දී ඇති බවත් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයකට අනුව ඒ මහතා. වසන්ත කරන්නාගොඩ මහතාගේ උපදෙස් අනුව නීති කටයුතු සිදුකළ බවත්, කරන්නාගොඩ මහතාගේ හිටපු ආරක්ෂක නිලධාරීයකු වන නිලන්ත සම්පත් මුණසිංහ නමැත්තා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට කරන්නාගොඩ මහතා පැමිණිල්ලක් සිදුකළ බවට එම ප්‍රකාශයේ සදහන් වන බවත් පැවසූ නිශාන්ත සිල්වා මහතා මේ සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාගෙන් යළි ප්‍රකාශ ලබාගත යුතු බවද පැවසීය.

මෙම සිද්ධියේ සාක්ෂිකරුවෙකු වන වෙලගෙදර යන අයගේ ආරක්ෂක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම, නීති අධ්‍යක්ෂක, ආරක්ෂක අමාත්‍යාශයේ අතිරේක ලේකම් සහ නාවික හමුදාවට දැනුමි දෙන ලෙස  මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන 09 වැනිදා යළි කැදවිමට නියෝග කළේය.

බුද්ධිමාල් රුබේරු