කොළඹ මහාධිකරණය පවත්වාගෙන යන වසර 300 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් ඊයේ (16) කඩා වැටිණි.


මහාධිකරණ විනිසුරුවරුන් හා එහි කාර්ය මණ්ඩලයට ගමන් කිරීම සඳහා වෙන් කර ඇති කොරිඩෝවේ ඇති සිවිලිමේ කොටසක් එසේ කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

‘හල්ෆ්ඩොප්’ නමැති ලන්දේසීන් සේනාධිපතියා විසින් ඉදිකරන ලද බව සැළකෙන මෙම ලන්දේසි බලකොටුව වසර 300 ක පමණ පැරණි බවට විශ්වාස කරන අතර වසර ගණනාවක් පුරා කොළඹ මහාධිකරණය පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලේය.

මීට වසර කිහිපයකට පෙර මෙම ගොඩනැල්ල දරා සිටින විශාල කණු කිහියපක්ම කඩා වැටුණු අතර පසුව එය පෙර තිබූ පරිදිම ඉදිකරන ලදී.

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් වශ්‍යයෙන් නම් කර ඇති කොළඹ මහාධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය පවත්වාගෙන යන ගොඩනැගිලි සංකීර්ණයේ ඇති ගොඩනැගිලි වල වහල දිරාපත් වීම නිසා වැසි දිනවලදී තැන් තැන් වලින් වතුර කාන්දු වන අයුරු දැකගත හැකිය.

මෙහි ඇති අවදානම් තත්වය මහාධිකරණ නිලධාරීන් විසින් ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් කර ඇතත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් වශයෙන් නම් කර ඇති මෙම ගොඩනැගිල්ල ආරක්‍ෂා කර ගැනීම සඳහා හෝ සංරක්‍ෂණය කර ගැනීම සඳහා මෙම ගොඩනැගිල්ල බාර ආයතන හෝ නිලධාරීන් කටයුතු කරන බවක් නොපෙනෙන බව එහි නිලධාරීහු පවසති.
(මනෝප‍්‍රිය ගුණසේකර)