තමා කටයුතු කරන්නේ නීතිපති ධුරයේ වගකීම් මනාව වටහාගෙන, ඒ අනුවම බවත් එලෙස ක්‍රියාකිරීමේදී
රජයේ කුමන බලවතකුගේ වත් සුවච කීකරු සේවකයකු නොවීමට තමා වගබලා ගන්නා බවත්, ජනාධිපතිවරයා

සමඟ එක්වී කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරන බවට, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත්
ජයසුන්දර විසින් දිවුරුම් ප්‍රකාශයක් මඟින්  තමාට චෝදනා කිරීමට අධිකරණ රීති උල්ලංඝනය කරමින්
ක්‍රියා කොට ඇති බැවින් එම ප්‍රකාශය වහා ඉවත් කරගන්නා ලෙස නියෝග කරන ලෙසත් නීතිපති දප්පුල
ද ලිවේරා මහතා ඊයේ (4දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ සප්ත පුද්ගල පරිපූර්ණ විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා
සිටියේය.

තවද එම දිවුරුම් ප්‍රකාශය සැකසීමට නීති උපදෙස් දී ඇති නීතිඥ විරාන් කොරයාට එරෙහිව තමා නීතිමය
ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් මූලික පියවර තබා ඇති බවද ඔහු සප්ත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ

විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු සිසිර ද ආබෘෘ, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත
ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරි එන්.බී. මුර්දු ප්‍රනාන්දු
යන සප්ත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නීතිපතිවරයා එලෙස ප්‍රකාශ කර සිටියේ ඊයේ
(4දා) තෙවැනි දිනටත් කැඳවා තිබූ ‘පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට
අදාළව ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 පිළිබඳ විභාගයේදීය.

මෙම පෙත්සම් සියල්ලක්ම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති ප්‍රධානතම වගඋත්තරකරුවන් දෙදෙනකු
වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු මත සිටින පූජිත් ජයසුන්දර යන
දෙදෙනා වෙනුවෙන් රජයේ නීතිපතිවරයා වශයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමට තීරණය කොට ඇති
බැව් මෙම පෙත්සම් විභාගය ආරම්භයේදීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතවම
ප්‍රකාශ කරනු ලැබීය.

වගඋත්තරකාර පූජිත් ජයසුන්දර විසින් මෙම නඩු විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති
දිවුරුම් ප්‍රකාශයක් මඟින් තමාටත් තවත් වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනකුටත් අපරාධ චෝදනා එල්ල කරමින්
ඉතාමත්ම බරපතළ  අපවාදයක් නඟා ඇති බවත් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ගරු ගාම්භීරත්වයටද සමච්චල් කරමින්
මෙම උත්තරීතර අධිකරණය දේශපාලන වේදිකාවක් කර ගැනීමට ඔහු උත්සාහ කර ඇති බවත් මෙහිදී නීතිපති
දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය.

මෙම ප්‍රකාශයත් සමඟම පෙත්සම් විභාගය සුළු වේලාවකට කල් තැබූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා
ප්‍රමුඛ සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලය මිනිත්තු 4කට පසු යළි විනිශ්චයාරූඩ වූ අතර නීතිපතිවරයාගේ ඉල්ලීම
සම්බන්ධයෙන් පසුව නිගමනයකට එළැඹෙන බව ප්‍රකාශ කර සිටියේය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා යළි තම දෙසුම ආරම්භ කරමින් කියා  සිටියේ තමාත් ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මහතාත් බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාත් එකතු වී ඔහු පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔහුට එරෙහිව බොරු නඩුවක් පටලැවීමට කුමන්ත්‍රණයක් සිදු කරන බවට
වගඋත්තරකාර පූජිත් ජයසුන්දර සිය දිවුරුම් ප්‍රකාශ මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කොට ඇති බවත්ය.


ද්වේෂ සහගත ලෙස ඔහු විසින් සිදුකොට ඇති එම අසත්‍ය වූත්, පදනම් විරහිත වූත් ප්‍රකාශය සම්බන්ධයෙන්
ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විශේෂ අවධානය යොමු කරන ලෙසත්, එය වහාම ඉවත් කිරීමට නියෝග කරන
අතරම, ඒ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරන ලෙසත්, විනිශ්චය
මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

 තමන් නීතිපති ධුරයේ කටයුතු කිරීමට භාරගත්තේ එම ධුරයේ වගකීම හා වගවීම් පිළිබඳව තම අති දීර්ඝ වූ
සේවා කාලය තුළ ලබාගන්නා ලද අත්දැකීම් සම්භාරයත්, එම කාල පරාසය තුළ ඒ සම්බන්ධයෙන් ඉතා
ඕනෑකමින් සිදු කරන ලද හැදෑරීමකින්ද පසුව බවත්, එබැවින් කිසිදු බලවතකුට හෝ කුමන බලවේගයකට හෝ
යටත් නොවී අපක්ෂපාතීව තම ධුරයේ කටයුතු කිරීමට තමාට කිසිදු අපහසුතාවක් හෝ එසේ ක්‍රියාකිරීමට
කිසිදු පැකිළීමක් හෝ නොමැති බවත් ලිවේරා මහතා කියා සිටියේය.

නීතිපති ද ලිවේරා මහතා වැඩිදුරටත් සප්ත පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටියේ
මෙම පෙත්සම් විභාගයේදී වගඋත්තරකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් හෝ වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු
වෙනුවෙන් හෝ ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටීමට තමා තීරණය කරන ලද්දේ තමාගේ අභිමතය මත
පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ද සමඟ පවත්වනු ලැබූ සාමූහික සාකච්ඡාවකින්
පසුව බවත්ය.

එසේ තීරණය කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ තම දෙපාර්තමේන්තුව වෙතට ලැබී ඇති වාර්තා
අනුවත් තම දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නිරීක්ෂණ අනුවත් මෙම මහා විනාශකාරී බෝම්බ ප්‍රහාර
මාලාව පහසුවෙන්ම වැළැක්විය හැකිව තිබූ එකක් බවත් මෙම වගඋත්තරකරුවන්ගේ දැඩි නොසලකා හැරීම්
හා අකර්මණ්‍යතාවන් හේතුවෙන් එය වැළැක්වීමට ගත යුතුව තිබූ හා ගත හැකිව තිබූ ඉතා සරල
ක්‍රියාමාර්ග පවා ගැනීමට මොවුන් පියවර නොගැනීම නිසා එම විනාශය සිදු වූ බව තහවුරු වීමත්ය.

මෙහිදී කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු ප්‍රසාදීන් වහන්සේ වෙනුවෙන් සප්ත පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ
විනිශ්චය මණ්ඩලය හමුවේ කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ නීතිඥ ෂාමිල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

කතෝලික බැතිමතුන්ට ‘නත්තල් දිනය’ ට පමණක් දෙවැනිව ‘පාස්කු ඉරිදා’ දේව මෙහෙය පැවැත්වෙන
අවස්ථාවේදී ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කොච්චිකඩේ, කටුවාපිටිය හා
මඩකළපුව සියොන් යන දේවස්ථාන තුළ ආගමික වතාවත්හි නිරතව සිටි 300කට ආසන්න පිරිසකට ජීවිතත්, තවත්
දහස් ගණනකට අකර්මණ්‍යභාවයත්, තවත් සිය දහස් ගණනකට සිය දේපොළත් අහිමි කරමින් සිදුකරන ලද
ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාත්, එවකට සිටි
පොලිස්පතිවරයාත් අගමැතිවරයා ඇතුළු රජයත්  සම්පූර්ණයෙන් වගකිව යුතු වෙනවා.

‘එපමණක් නොවෙයි කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරය සිදුවූ සැණින් පොලිසියත් අනෙකුත් ආරක්ෂක අංශ
නිලධාරීනුත් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. හෝරා කීපයක් තිස්සේම විශාල කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ
සිදුකොට පිටත්ව ගියත්, ඊට දින 1 1/2කට පසුව තමයි දේවස්ථානය ආසන්නයේම රඳවා තිබූ ‘බෝම්බ පිරවූ
වෑන් රථය’ ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත්තේ. පොලිසියත් අදාළ අනෙකුත් අංශත් ආරක්ෂාව
පිළිබඳව දැක්වූ සැලකිල්ලේ තරම එයින්ම පෙනෙනවා.’

තවද 264 දෙනකු මියගොස් ඇති බව ඔවුන්ම වාර්තා කළා. මියගිය අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි
ගෙවන බව ප්‍රකාශ කළත් ඒ 264 දෙනාගෙනුත් 22 දෙනකුට පමණයි අදටත් වන්දි ගෙවා තිබෙන්නේ.

අගමැති ලේකම්ගේ වාර්තාවට අනුව 101 දෙනකු පීඩාවට පත්වූ බවයි ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.
රුපියල් ලක්ෂය (රු. 1,00,000) බැගින් පීඩාවට පත්වූවන්ට ගෙවන බව ප්‍රකාශ කළත්, එම පිරිසෙනුත්
අඩකට පමණක් රුපියල් 50,000 බැගින් ගෙවා තිබෙන්නේ. විපතට පත්වූවන් වෙනුවෙන් රජය ක්‍රියා කරනු
ලබන ආකාරය තේරුම් ගන්න මෙයම ප්‍රමාණවත්.

මේ අවස්ථාවේදී පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ටිරාන් කොරයා නැඟී සිටිමින් නීතිඥ ෂමිල්
පෙරේරා මහතාගේ කරුණු දැක්වීමට යම් බාධාවක් සිදුකරන්නට උත්සාහ කළ අතර නීතිපතිවරයාද ඇතුළුව
පෙත්සම් පාර්ශ්වයන්හි නීතිඥ මණ්ඩල එයට බලවත් විරෝධය පළකිරීමත් සමඟ විනිසුරු මඬුල්ල ඔහුට
අවවාදාත්මක  ස්වරූපයෙන් විධාන කළේ බාධා නොකරන ලෙසටය.

නීතිඥ ෂමිල් පෙරේරා මහතා මේ අවස්ථාවේදී යළි කරුණු දක්වන අතරතුර පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර
මාලාවෙන් සිදු වූ ඛේදවාචකය පිළිබිඹුවන ඡායාරූප රාශියක් ඇතුළත් ඡායාරූප එකතුවක් විනිශ්චය මණ්ඩලය
වෙත ඉදිරිපත් කර සිටියේය.

සප්ත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය අද (5දා) උදේ 10.30ට යළි විනිශ්චයාරූඪ වීමට
නියමිත අතර එහිදී ඊයේ (4දා) දින නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඉදිරිපත් කළ විරෝධතාව
පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ නිගමනය ප්‍රකාශ කරනු ලබන බවත් එමඟින් පෙන්වාදුන් වගඋත්තරකාර පූජිත්
ජයසුන්දර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ප්‍රශ්නගත දිවුරුම් ප්‍රකාශනය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයද
ප්‍රකාශ කරන බවත් කියා සිටියේය. 

පෙත්සම් විභාගය අද (5දා) දිනයේදීත් පැවැත්වීමට නියමිතය. 

කමල් මහේන්ද්‍ර වීරරත්න