'ඇවන්ට් ගාඩ්' සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග  ආනදෝලනාත්මක දුරකථන සංවාදයක් පැවැත්වූ බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ කළ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කළ  බව
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී, ජ්‍යෙෂ්ඨ රජයේ  නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරහිව ආයතන සංග්‍රහය යටතේ විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඊයේ (23දා)
සවස ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව ඒ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සදහා මෙම පත් කිරීම සිදු කර ඇතැයි වාර්තා වේ.

වික්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස්  වික්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික  වූ වෙනත් කරුණු සැලකිල්ලට ගන්නා ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළැයි පැවසූ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය, වික්‍රමසිංහ මහත්මිය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරීයෙකු යොදවා අදාළ විනය පරීක්‍ෂණය සිදුකරන ලෙසද රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කර ඇත.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන 'ඇවන්ට් ගාඩ්' සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමග දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කළ දුරකථන සංවාදයක් ඇතුළත් හඩපටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහරනු ලැබීය.

සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන නිශ්ශංක ස්නාධිපති මහතා සමාජ මාධ්‍ය ජාලයට මුදාහළ බව කියන එම වීඩියෝවේ අඩංගු දුරකථන සංවාදය සත්‍ය එකක්ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු යැයිද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.මෙම විනය පරීක්‍ෂණය සිදුකරන නිලධාරියා කවුද? මෙම විනය පරීක්‍ෂණය සිදුකරනතුරු දිල්රුක්ෂි ඩයස්  වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ යුතුද? ඇය අනිවාර්ය නිවාඩු ගැන්විය යුතුද? ආදී කරුණු පිළිබඳ තීරණය කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරෙන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පවසා සිටියාය.

-බුද්ධිමාල් රූබේරු-