යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ  සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපටම සමාන
විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙයි.

අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරන බවයි මුදල් අමාත්‍යාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.

උදාහරණයක් වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ.

ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි.

ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000ක විශ්‍රාම වැටුපකි. ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.

ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙන ලදී.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියි.