ඊසි කෑෂ් ක්‍රමය ගම්බද ප්‍රදේශවල මත්කුඩු ව්‍යාප්තිය සඳහා බෙහෙවින් යොදා ගන්නා නිසා විමර්ශන කටයුතුවලට එය බාධාවක් බව ගලේවෙල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති
උ.පො.ප. ජානක වීරරත්න  පැවැසීය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය. ‘‘ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ සෑම තැනම ආවරණය වන පරිදි දිවා රාත්‍රියේ විශේෂ වැටලීම් සිදු කරමින් මෙම මත්කුඩු ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා පොලිසිය කටයුතු කරනවා. ඊසි කෑෂ් ක්‍රමය නිසා
වැරදි කළොත් අත්අඩංගුවට ගැනීමේදී යම් යම් බාධා එල්ල වෙනවා. කවුරුන් විසින් ජාවාරම් කරනවාද? කවුරුන් විසින් ඇණවුම් කරනවාද කොහේ තිබෙනවාද යන්න හරිම ගැටලුවක්. බොහෝ දුරට අපට අහු වෙන්නේ කුඩු උරණ අය පමණයි. නමුත් ඊසි කෑෂ් ක්‍රමය නැතිනම් අනිවාර්යයෙන්ම කුඩු ගැනුම්කරුවෙක් සහ කුඩු ජාවාරම්කරුවෙක් සම්බන්ධ විය යුතුයි. එවිට අපට තොරතුරු ලැබීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි.

ඒ රහස සමාජගත වෙනවා. නමුත් මේ ඊසි කෑෂ් ක්‍රමයෙන් අපට බාහිර ආරංචි ලැබෙන්නේ නෑ. මේ ඊසි කෑෂ් ක්‍රමය අපේ රටට අත්‍යවශ්‍යයි මම හිතන්නේ නෑ. මේක අද වන විට රටේ මත්කුඩු ව්‍යාප්තිය සඳහා ඉහළින්ම ක්‍රියාත්මක වන ජාලයක්. කීප දෙනකුගේ අවශ්‍යතාව සපුරනවාද? සමස්ත තරුණ පරපුර රැක ගන්නවාද? යන්න බලධාරීන් විසින් තෝරා බේරාගෙන මෙම ඊසි කෑෂ් ක්‍රමය අහෝසි කරනවා නම් ඉතාමත් කාලෝචිතයි.

දි.මු.සෝ. දිසානායක - ගලේවෙල