ඇහැලියගොඩ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මැණික් ගල් කිහිපයක් කැලණිය, ගල්වත්ත නිවෙසකදී කොල්ලකා එම ව්‍යාපාරිකයාට හා ඔහු සමඟ පැමිණි
බ්රෝකවරයාට පහරදී පලවා හැරි පුද්ගලයන් දෙදෙනකු 26දා අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.එම පුද්ගලයාගෙන් කොල්ලකන ලද මැණික් ගල් හතරක් හා කොල්ලකන ලද මැණිකක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ පහක මුදලක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහු සන්තකයේ නිල් මැණිකක් ඇති බවත් එය විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයාදෙන ලෙසත් මීට දින කිහිපයකට ඉහතදී බ්රෝකර්වරයකුට පවසා තිබූ බව පොලිසිය කියයි. එම මැණික් ගල පරීක්ෂා කිරීම සඳහා ඇහැළියගොඩ ව්‍යාපාරිකයා පැමිණි අවස්ථාවේ දී සැකකරු ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ ගලක් පෙන්වා තිබූ බව පොලිසිය කියයි.

එම ගල නොවටිනා එකක් බවට ව්‍යාපාරිකයා දැනුම් දීමෙන් පසු ව්‍යාපාරිකයා ඔහු සතුව තිබූ මැණික් ගල් කිහිපය ප්‍රධාන සැකකරුට පෙන්වීමේදී මෙලෙස එම මැණික් ගල් කොල්ලකා පහරදී තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-