https://www.gossiplankanews.com/2019/09/father-son-story-aviation.html#more
ටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණීම අරුම පුදුම හෝ විරල සිදුවීමක් නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් 24 දා රාත්‍රී 9.45ට බණ්ඩාරනායක ගුවන්තොටුපළට ළගා වූ මලයාසියාවේ එයා ඒෂියා ගුවන් සමාගමට අයත් ඒ කේ 047 දරන්න ගුවන් යානය මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසය වෙනස් කළේය.
මලයාසියාවේ ක්වාලාලම්පුර නුවර සිට
වළාකුළු දෙබෑ කරගෙන පැමිණි මේ ගුවන් යානය මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසය වෙනස් කරමින් ඉතිහාසයේ කිසි දීනෙක මැකි නොයන වර්ණවත් මතක සැමරුමක් බවට පත් වූයේ එම ගුවන් යානය පදවාගෙන පැමිණියේ මෙරට පිය පුතු දෙපලක් වන හෙයිනි. එවැන්නක් මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ කිසි දිනක සිදු වී නොමැත. උදිත දන්වත්ත ඒ සාඩම්බරකාර තාත්තාය. කවීෂ දන්වත්ත ඒ සාඩම්බර පුත්‍රයාය. කාන්තා ප්‍රධාන ගුවන් නියමුවාය. කවීෂ සහායක ගුවන්  නියමුවාය.


"මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂි එකක්. මම මගේ පුතා එක්ක ක්වාලාලකපූර් නුවර සිට කටුනායක  දක්වා ගුවන් යානය පදවාගෙන ආවා. මගේ සහායක ගුවන් නියමුවා වුණේ මගේ එකම පුතා කවිෂ දන්වත්ත. මට මොනතරම් ආඩම්බරයක් ද?” උදිත  දන්වත්ත මහතා කටුනායක ගුවන් තොටුපළේදී තම සතුට මාධ්‍ය වෙත මුදාහැරියේ එසේය.  ඒ කේ 047 ගුවන් යානය මවු පොළොව සිපගන්නා ඒ අසිරිමත් අවස්ථාවේ දී කවීෂගේ මව ගුවන් තොටුපළට පැමිණ සිටියේ මල් කලඹක් ද සමගිනි.

තම සැමියා හා එකම පුතු වෙනුවෙන් ඉතිහාසයේ දිනයක් මෙසේ වෙන්වනු ඇතැයි ඇයට සිතුණ ද එය මෙතරම් ඉක්මනින් සිදුවනු ඇතැයි ඇය ඇතැම් විට නොසිතන්නට ඇත. කවීෂ පුතු මේ හපන්කම් පාන්නේ අවුරුදු 21ක් වැනි නාඹර වයසේදීමය.

"මේක මගේ පුංචි කාලේ ඉඳලම තිබුණ සිහිනයක්. අවුරුදු 22 දී මට මේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා. මට මේ අවස්ථාවට එන්න උදවු කළ මගේ ආදරණීය අම්මාටත් තාත්තාටත් ගුරුවරුන්ටත් ගොඩක් ස්තුතියි." කවීෂ දන්වත්ත මාධ්‍යයට කීවේ එවැන්නකි. සැබැවින්ම ඉතිහාසය වෙනස් කර ඇත්තේ ධෛර්යවන්ත මිනිසුන්ය. සිහින හඹා ගිය මිනිසුන්මය.

කවිෂගේ තාත්තා උතුරත් - නැගෙනහිරත් ගිනි ගනිමින් තිබිය දී කෆීර් හා මිග් ආදී ප්‍රහාරක ගුවන් යානාවලින් හරඹ පෑවේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන්නේ ද යුද්ධය දරුණු ලෙස ඇවිළී යමින් තිබූ 1986 වසරේ දිය. බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ගුවනේ සිට හරඹ පෑ මේ රණවිරුවා ඒ පෑ හපන්කම වෙනුවෙන් රණවික්‍රම පදක්කම තුන් වතාවක් ද රණ ශූර පදක්කමෙන් සිවු වතාවක් ද පිදුම් ලැබීය.

යුද සමයේ එක් අවස්ථාවක දී සතුරා එල්ල කළ වෙඩි උණ්ඩයක් වින් කමාන්ඩර් උදිත දන්වත්ත මහතාගේ ළය විනිවිද ගියේය. එහෙත් සතුරාගේ අරමුණට අභියෝග කළ උදිත දන්වත්ත මහනා ගුවන් යානය නිරුපද්‍රිතව ඉලක්කය වෙත රැගෙන ආවේය. ඒ වීරත්වය උත්කර්ෂයට නැංවුණේ ඒ මහනා දේශපුත්‍ර සම්මානයෙන් පිදුම් ලැබීමෙනි.

2007 වසරේ දී සංග්‍රාමික ජීවිතයට සමුදුන් ඒ මහතා ශ්‍රී ලංකා සහ මිහින් ලංකා ගුවන් සමාගමවල සේවය කළේය. අනතුරුව ඔහු මලයාසියාවේ එයා ඒසියා ගුවන් සමාගමට එක්විය. ඔහු දැන් එම ගුවන් සමාගම් කපිතාන්වරයකු ලෙස සේවය කරයි. උදිත දන්වත්ත මහතා කොළඹ මහානාම විද්‍යාලයේ කිර්තීමත් ආදි ශිෂ්‍යයෙකි.


පුතු කවිෂ දන්වන කොළඹ රාජකීය විද්‍යාලයට කිර්තීය රැගෙන ආ ආදි ශිෂ්‍යයෙකි. කවීෂ දන්වත්ත එයා ඒසියා ගුවන් සමාගමට එක්වන්නේ පියාගේ මග පෙන්වීමෙනි. ඒ ඉකුත් ජනවාරි මාසයේ දිය. මාස පහක පුහුණු කාලයකින් අනතුරුව කවිෂ පියාගෙම ගුවන් යානයට එක්වන්නේ සහායක ගුවන් නියමුවා  ලෙසය. උදිත දන්වත්ත මහතාගේ සොහොයුරු තුසිත දන්වත්ත මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

සොහොයුරාගේ දුක සැප බැලිමට උදිත දන්වත්ත මහතා සිංගප්පූරුවට පැමිණියේ බිරිය සමගය. නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට එයාර් ඒසියා ගුවන් යානයට ඔවුහු ගොඩ වූහ. ගුවන් ගමන ඇරැඹීමට පෙර මගීන් අමතා කතා කිරිම ගුවන් නියමුවාගේ සිරිතය. ඒ අනුව එම ගුවන් යානයේ නියමුවා ද මගීන් ඇමතීය.උදිත දන්වත්ත මහතාටත් එම මහත්මියටත් සිය දෙසවන් විශ්වාස කළ නොහැකි විය. ඒ කට හඩ තම එකම පුතු කවීෂගේය.

"අද මා පියාසර කරන මේ ගුවන් යානයේ මගේ අම්මාත් තාත්තාත් ඔබ සමග ගමන් කරනවා.” කවීෂ පුතු කීවේය. "අපි ඇත්තටම දැනගෙන හිටියෙ නෑ ඒ ගුවන් යානයේ නියමුවා අපේ පුතා කියලා. ඒක දැන ගත්තම අපට හරිම සතුටක් ඇති වුණා.” උදිත දන්වත්ත මහතා මාධ්‍යයට එසේ කීවේය.

"පුතා උසස් පෙළට ඉගෙන ගනිද්දිම විවේක වේලාවල දී ගුවන් යානා පුහුණුව ලැබුවා. බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය සෑම වියදමක්ම අපි දැරුවා. දරුවා කැමැති අංශයකින් ඉදිරියටත්  යාමට අවශ්‍ය සහයෝගය ලබා දිම තමයි  දෙමාපියන් දරුවන්ට දිය යුතු හොඳම තෑග්ග කියලා මම හිතනවා.”

සතුට දෝර ගලන උදිත දන්වත්ත මහතාගේ වචන එසේය.මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසය වෙනස් කළ පිය පුතු දෙපළ යළිත් 24 දා රාත්‍රී 10.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගියහ.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන් / ටී.කේ.ජී. කපිල