සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඩුබායි රටේ සැඟව සිටින රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ ගෝලබාලයන් කිහිපදෙනකු ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් කිහිපදෙනකු ඝාතනය කිරීම සඳහා මහ දවාලේ ගල්කිස්ස පොලිස් වසමේ සැරිසරා ඇතැයි උසස් පොලිස්
නිලධාරියෙක් පැවැසිය.

කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකදී සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ ‘රොහාන්’ නොහොත් 'රොහා' නමැත්තාට ඇප ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම් සඳහා මෙම සන්නද්ධ පිරිස පැමිණ ඇතැයි ආරංචි මාර්ග කියයි. ඉකුත් 18 වැනි දින
මෙම සන්නද්ධ පිරිස අත්තිඩිය ප්‍රදේශයේ බාබර් සාප්පුවකට කඩා වැදී එම පුද්ගලයන් (ඇප දුන් අය) සිටීදැයි සොයා බලා පිටව ගොස් තිබේ.

ඊට දින 4කට පසු අඟුලාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට කඩාවැදී එම පිරිස සිටිදැයි සොයා බලා ගොස් තිබේ. ඝාතනය කිරීම සඳහා ඉලක්ක කරගෙන සිටින පුද්ගලයන්ට මුහුණු පොත මඟින්ද රත්මලාන කුඩු අංජුගේ ගෝලයකු විසින් තර්ජනය කර ඇතැයිද වෙඩි වරුසා සම්මානය නොබෝ දිනකින්ම කොහේ සිටියත් ලබාදෙන බවට එම මුහුණු පොතේ සටහන්ව තිබූ බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා මිරිහාන පොලිසිවලට පැමිණිලි ලැබී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

-එම්.සී.පෙරේරා-