හනුවර, තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට පෙරේදා (25) අලුයම කඩාවැදී එහි බාරකාර කපු මහතාගේ සේවකයන්ගේ සහ සේවිකාවන්ගේ අත්පා ගැටගසා කටට පාන්කඩ ඔබා කාමරයකට ඇද දමා රුපියල් කෝටි 08ක් පමණ වටිනා ස්වර්ණාභරණ කිලෝ 12ක පමණ ප‍්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් පැහැර ගත්
කල්ලියේ තිදෙනෙක් හා කාලය සැලසුම් කළත් පුද්ගලයාද පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (26)  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් එක් අයෙක් යුද හමුදාවේ සෙබළකි.

මෙම කාලය සැලසුම් කළ බව කියන එම දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර දැරූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් පිරිස
අතර සිටින බව තලාතුඔය පොලිසියේ නිලධාරියෙක්  පැවසීය. දේවාලයේ තිබී පැහැරගෙන ගිය ස්වර්ණභරණ තොගයද රන් ආලේපිත ඔරලෝසු හා ගජමුතු කිහිපයක් ද දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර හෙබවූ පුද්ගලයා පදිංචිව සිටින පේරාදෙණිය පොලිස් වසමට අයත් මුරුතාවල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම සැකකරු හෙළිකළ තොරතුරු ඔස්සේ පරික්ෂණ පවත්වා මේවා සොයාගත් බව පොලිසිය කියයි.
කොල්ලය සිදුවී පැය 12ක කාලයක් ගතවීමට මත්තෙන් සැකකරුවන් හදුනාගෙන ඔවුන් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි. මෙම කොල්ලය සඳහා පැමිණි යුද හමුදාවෙන් පලාගොස් සිටින බව පැවසෙන සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම හිටපු සෙබළුන් තිදෙනා ගැන තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවන් දේවාලයෙන් කොල්ල කෑ ලක්ෂ 20ක මුදල ඔවුනොවුන් සමසේ බෙදාගෙන ඇති බව පරික්ෂණවලින් හෙළිවිණි යැයි එම පොලිස් නිලධාරියා කීය.

ස්වර්ණාභරණ තොගය සහ රන් ආලේපිත ඔරලෝසු පසුව විකුණා දමන තෙක් මෙසේ වළදමා තිබී ඇති බවද පොලිසිය පවසයි. සීසීටීවී කැමරාවක තිබූ රූප රාමු කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.  නුවරඑළිය දිසා නියෝජ්‍ය පොලිස්පති සහ මහනුවර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති චන්දන  අලහකෝන් මහතාගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම යටතේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස්  පරික්ෂක එම්.ඩී. අරුණ ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

හාල්තැන්න ශ්‍රී භද්‍රකාලි දේවාලයේ සිදු වූ මෙම කොල්ලය ගැන දැනගත් වහාම පොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ.  දේවාලයට පිටුපසින් පිහිටි බාබර් සාප්පුවක සවිකර තිබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරික්ෂා  කර බැලීමේදී කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන පෙරේදා අලුයම් කාලයේ කඹයක ආධාරයෙන් දේවාලය වටා ඉදිකර තිබූ අඩි 20ක්  පමණ උසැති තාප්පයට ගොඩවන අයුරුද කොල්ලය  සිදුකර ආපසු යනවිටද එම කඹයේ ආධාරයෙන්
බැස යන අයුරු ද පොලිසියට දැක ගැනීමට හැකිවි තිබේ.

තවත් සීසීටීවී කැමරාවක ද රූපරාමු පරික්ෂා කර බැලීමේදී කොල්ල කල්ලිය පැමිණි රෝද රථය දක්නට ලැබී ඇති අතර එම ත්‍රීරෝද රථයේ අංකය ලබාගෙන පොලිසිය එම අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යොමුකර එහි ලියාපදිංචිකාරිණියගෙන් තොරතුරු ලබා ගත තිබේ.

ත්‍රිරෝද රථයේ හිමිකාරිය සොයාගෙන ගොස් ඇයගෙන් ප්‍රශ්න කිරිමෙදී තම ත්‍රීරෝද රථය කුලී පදනම මත සිය සහෝදරයාට කුලී ගමන් යාම සඳහා ලබාදී ඇති බව ඇය පවසා ඇති අතර පොලිසිය එම පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගනු ලැබීය.  මෙම ත්‍රීරෝද රථ රියදුරා ද මෙම කොල්ලය සඳහා ගොස් ඇති අතර ඔහුගෙන් හෙළිකරගත්  තොරතුරු මත සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

දේවාල භූමියේ අභිනවයෙන් බුදු මැදුරක් ඉදි කරගෙන යන අතර එහි කොන්ත්‍රාත්තුව බාරගෙන තිබුණේ හිටපු හමුදා සෙබළෙක් බව පොලිසිය කියයි. මට  දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර දරන පුද්ගලයා මෙම
කොන්ත්‍රාත්කරු සමග එක්වී මෙම කොල්ලය සැලසුම් කර ඇතැයි පොලිස් පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බව කියති. මෙම කොන්ත්‍රාත්කර හිටපු හමුදා සෙබළා ඔහුගේ මිතුරන් කණ්ඩායමක් ද කැටිව ගොස් කොල්ලය සිදුකර තිබෙන බව පොලිසිය කීය.

දේවාලයට පුද පඩුරු වශයෙන් ලැබී තිබුණ ස්වර්ණභාරණ තොගය විකුණා දැමීමට කපු මහතා තීරණය කර ඒ බව සැකකාර ලේකම්ට දැනුම් දුන් අවස්ථාවේ දැන්ම එය නොකරන ලෙසත් තමා කෙනෙක් ඒ සඳහා
සොයාදෙන බවත් ඔහු කපු මහතාට පවසා තිබිණි යැයිද පොලිසිය කියයි.

කපු මහතා පෙරේදා අලුයම දේවාලය විවෘත කර ආවතේව කිරිමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේ කොල්ලකරුවන් එහි කඩා වැදී මෙම කොල්ලය සිදුකර තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි. කොල්ලයට හවුල් වූ දෙදෙනකු මෙය සිදු කිරිමට  පෙර අවස්ථා කිහිපයකදී දේවාලය අවට ගැවසී අවශ්‍ය තොරතුරු එක්රැස් කරගෙන ගොස් ඇති බව ද පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇත. කොල්ලකරුවන් පැමිණි බව කියන ත්‍රීරෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පේරාදෙණිය, ගම්පොළ සහ කටුගතොට යන පොලිස් ස්ථානවල පදිංචිකරුවෝ වෙති.


-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-