https://www.gossiplankanews.com/2019/09/galthenna-kovil-robbed.html
මීට වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ගාල්තැන්නේ දේවගැති කපු මහතාගේ කෝවිල ඊයේ පාන්දර සොරු බිඳ තිබූ අතර මේ වනවිට වාර්තාවන්නේ එම සොරුන් හා භාණ්ඩ පොලිසිය හසුකරගෙන ඇති බවකි.
 ඊයේ (25දා) අලුයම 3.45ට පමණ තලාතුඔය, ගාල්තැන්න, ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට
ඇතුළු වූ සොරු කණ්ඩායමක් එහි සේවකයන් හා ගාල්තැන්නේ දේවගැතිවරයා බැඳ දමා එහි තිබූ රත්රන් කිලෝ 12ක පමණ ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂ 20ක් පැහැරගෙන ගොස් තිබිණි.
පැහරගත් රත්‍රං වල වටිනාකම කෝටි 8කට අධික බව පොලිසිය කියයි. මෙයට අමතරව එහි තිබූ කුඩා ප්‍රමාණයේ

මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබුණි.
 හත්දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළුවී දේවගැතිවරයා පූජාවට යන මොහොතේ ඔහු අල්ලා බැඳ කාමරයකට දමා මෙම කොල්ලය සිදු කර ඇත. මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරන කාන්තාවද සේවකයන් ද කාමරයකට දමා වසා තිබුණි.
ගැටගැසීමෙන් අනතුරුව දේවගැතිවරයාගෙන් යතුරු ලබාගෙන රන්බඩු හා මුදල් පැහැරගෙන ගොස් තිබේ. දේවාලය වටා ඇති සුවිසල් තාප්පයට නැඟ කඹයක ආධාරයෙන් සැකකරුවන් දේවාලයට ඇතුළු වී ඇති බව පොලිසිය කියයි.
 දේවගැතිවරයා ගමන් බිමන් යන අවස්ථාවලදී ද රන් මාල හා වළලු පැලඳ යන අතර ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටි පිරිසක් මෙම කොල්ලය සිදුකරන්නට ඇති බව පොලිසිය සැකරයි.
 ඔහු සතුව රන් කිලෝ අති විශාල ප්‍රමාණයක් තිබූ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දෛනිකව අති විශාල පිරිසක් මෙම දේවාලයට පැමිණ රන් හා මුදල් පරිත්‍යාග කිරීම නිසා කලක් මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබිණි.

 තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ

ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකේන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවූ අතර පොලිස් නිල සුනඛයන් යෙදවීමටත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේත් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර තිබුණි.
මාර්ගය දෙපස CCTV දර්ශන පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සහ ලැබුනු තොරතුරු මත මෙම විමර්ශන සිදු කරමින් සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණි. එම ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලින් අනතුරුව අපරාධයට පැමිණි සැකකරුවන් සිව් දෙනෙකු අද (26) අළුයම වන විට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම කොල්ලකන ලද රුපියල් ලක්ෂ 500ක වටිනාකමින් යුත් කිලෝ 10කට අධික රන් ආභරණද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.
 එහිදී සැකකරුවන් 06 දෙනෙකු පැමිණි බව වාර්තා වූ අතර අනෙක් සැකකරුවන් හා ඉතිරි සොරබඩු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.