උතුරේ නීතිඥ සංගමය විසින් දියත් කොට ඇති වර්ජනය අදින් (30) අවසන් කරන බව උතුරේ නීතිඥ සංගමයේ උප සභාපති ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසුවා.

තම සංගමය විසින් ඉල්ලා සිටි කාරණා දෙක සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ක්‍රියා මාර්ගයක් ගන්නා බවට නීතිපතිවරයා දුරකතන ඇමතුමක් මගින් කළ ප්‍රකාශය මත වැඩ වර්ජනය අවසන් කරන බව ද උප සභාපතිවරයා
කියා සිටියා.

උතුරේ නීතිඥ සංගමය දින හතරක් තිස්සේ සියලුම අධිකරණ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වූයේ මුලතිව් ගුරුකන්ද විහාරාධීපති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකා විහාරස්ථාන භූමියේ ආදාහනය කිරීමට මුල් වූ බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසයි.

විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාරස්ථාන භූමියේම පැවැත්වුණු අවස්ථාවේදී අධිකරණ නියෝගය මත ඊට විරෝධය පලකල මුලතිව් අධිකරණයේ නීතිඥවරයෙකුට පහර දුන් පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසද උතුරේ නීතිඥ සංගමය තම වර්ජන හා විරෝධතා වලින් ඉල්ලා සිටියා.

පසුගිය 24 දා සිට උතුරේ සියලුම අධිකරණ වලට අයත් නීතිඥවරු ඔවුන්ගේ සේවාවන් වර්ජනය කොට කලු රෙදි පටිවලින් මුඛය වසා ගෙන අධිකරණ ඉදිරිපිටට වී විරෝධය පල කළා.