මාකඳුරේ මදුෂ්ගේ සැලසුමකට අනුව කැවුමා නමැත්තෙකු යොදවා ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ
නිවෙසක තිබී සොරාගත් බව කියන රුපියල් කෝටි පන්සියයක් පමණ වටිනා දියමන්තිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවක්ද සමඟ මහ බැංකුවේ තැන්පත් කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එච්.යූ.කේ.පැල්පොළ මහතා නියෝග කළේය.

එකී දියමන්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම සඳහා
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත රැගෙන යන අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව, මහරගම පොලීසිය හා දියමන්තියේ හිමිකරු වන පැමිණිලිකරු යන පාර්ශව තුනම සහභාගි විය යුතු බවටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ වනවිට පොලිස් භාරයේ තිබේන එකී දියමන්තිය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු මහරගම පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙසට පොලිස්පතිවරයා පසුගියදා කර තිබූ දැනුම්දීමකට අනුව අධිකරණයේද අවසරය මත එකී විමර්ශන කටයුතු ඉහත කී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදු කරනු ලබයි.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් "කැවුමා" නමැත්තා ඇතුළු සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඉන් අටදෙනකු ලබන මස 02 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරිණි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ඇත.

එරංග (88199), ජයසේකර (44726), වීරසිංහ (86221) යන පොලිස් කොස්තාපල්වරු පැමිණිල්ල මෙහෙයවූහ.

කුමුදු උපුල් ශාන්ත