මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔත්තුවක් පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදුන් බවට චෝදනා
කරමින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු සිදුකළ පහරදීමකින් එහි රඳවා සිටි තවත්
සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මත්කුඩු ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එකී සැකකරුවන් දෙදෙනා මැගසින්
බන්ධනාගාරයේ එකම සිරමැදිරියක රඳවා තබා තිබූ බවත් එසේ රඳවා සිටි එක් සැකකරුවකු අනෙක්
සැකකරුවා අමතා ‘මම මත්කුඩු ජාවාරම් කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුව දුන්නේ
උඹයි’ යනුවෙන් තර්ජනය කරමින් අනෙක් සැකකරුවාට පහරදී ඝාතනය කර ඇති බවද අනාවරණය වෙයි.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 45 හැවිරිදි අයකු එසේ ඝාතනයට ලක්ව ඇති බවද දැන
ගැනීමට තිබේ.

බන්ධනාගාරගත වීමට පෙර මෙකී සැකකරුවන් දෙදෙනා මත්කුඩු ජාවාරම්කාර පාර්ශ්වයන් දෙකක
සාමාජිකයන්ව සිට ඇති බවද අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට බන්ධනාගාර උසස් නිලධාරියකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත්
පරීක්ෂණය ඊයේ (25දා) සිදුකිරීමට නියමිතව තිබූ බවත් සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්ය.

මෙකී පහරදීමේ සිද්ධිය පෙරේදා (24දා) සිදුවී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත