අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වශයෙන් කටයුතු කළ සමයේදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පවරන ලෙස තමන්ට බලපෑම් කළ
ඇමැතිවරුන් කවුදැයි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වහාම රටට හෙළිකළ යුතුයැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24) පැවැසීය.
ඇය එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව එල්ලවන බවද ඔහු කීය. විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ, කොළඹ. සී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (24) පැවැති සමුපාකාරකයින්ගේ ජාතික මහා සම්මේලනය සහභාගි වෙමිනි.
එහිදී ඔහු මෙසේ ද කීය. 19 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපට කපන්නයි. අපිට කපන්න ගෙනා ඒ සංශෝධනයෙන් අද රටම කප්පාදුවෙලා. ඇමැතිවරුන්ගේ බලපෑම් නිසා තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරූ ඛට සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂ ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියනවා. එහෙමනම් ඒ බලපෑම් කළ ඇමතිවරුන් කවුරුන්දැයි ඇය වහාම රටට හෙළිකළ යුතුයි. එහෙම නැතිවුණොත් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට මේ චෝදනාව එල්ලවෙනවා. නීති කඩන, නීති නවන නිලධාරින්ගෙන් අපට වැඩක් නැහැ. මේ ආකාරය පලිගන්නා ආණ්ඩුවලින් රටටත් වැඩක් නැතැයිද රාජපක්ෂ මහතා කීය.
(සංජීව දහනායක)