නිදහසින් පසු සිම්බාබ්වේ පාලනය කළ පළමු නායකයා වන රොබර්ට් මුගාබේ දිවියෙන් සමුගෙන තිබේ.රොබර්ට් මුගාබේ මිය යන විට අනූපස් වෙනි වියේ පසු විය
මුගාබේ මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු තහවුරු කළහ. පසුගිය අප්‍රේල් මස සිට ඔහු සිංගප්පූරුවේ පිහිටි
රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
තිස්හත් වසරක් බලයේ
රැඳී සිටි මුගාබේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණේ 2017 වසරේදීය.
සිම්බාබ්වේ බහුතර කළු ජාතිකයන් සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මුල් පාලන කාලය ඇගයීමට ලක් විය. නමුත් ඔහුගේ පසු කාලය තුළ අයිතීන් අවභාවිත කිරීම් සහ දූෂණ වාර්තා විය.
එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගැනීමෙන් පසු සිම්බාබ්වේ පැවති පළමු මැතිවරණය ජය ගත් මුගාබේ අගමැති පදවියට පත් වූයේ 1980 වසරේදීය.
1987 වසරේදී අගමැති බලතල අහෝසි කළ ඔහු ඒ වෙනුවට ජනාධිපති ධුරය සඳහා පත් විය
මුගාබේගේ අනුප්‍රාප්තිකයා වන එමර්සන් ම්නන්ගග්වා, ඔහුගේ අභාවය වෙනුවෙන් දැඩි ශෝකය පළ කරයි. ජනාධිපති ම්නන්ගග්වා විසින් මුගාබේ හඳුන්වනු ලැබුවේ "විමුක්තියේ සංකේතයක්" වශයෙනි.
ම්නන්ගග්වා ජනාධිපති ධුරයට පැමිණීමට පෙර මුගාබේ යටතේ උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.