පිටිගල ප්‍රදේශයේදී යතුරු පැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන්, යතුරු පැදියේ ගමන්ගත් පෝද්දිවල මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මිය ගොස් ඇගේ පුතුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර ඇත. ඊයේ (04දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මත්තක, බඹරවාන පදිංචි චම්පිකා නානායක්කාර නැමති පනස් එක් හැවිරිදි තිදරු මවකි. නියෝජ්‍ය විදුහල්පතිනිය සිය පුතුන් දෙදෙනා සමග පිටිගල-බඹරවාන මාර්ගයේ යතුරු පැදියෙන් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ බඳෙහි යතුරු පැදිය ගැටී ඇත.

ඒ සමග යතුරුපැදිය පෙරළී ගොස් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. නියෝජ්‍ය විදුහල්පතිනියගේ පුතකු යතුරු පැදිය පදවා ඇති අතර, ඔහු පමණක් යතුරුපැදි හිස් වැසුම පැලඳ සිටි බවද හෙළි වෙයි. නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ඇගේ අනෙක් පුතා හිස් වැසුම් පැලඳ සිට නැත.

තුවාල ලත් එක් පුතෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කල්පිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර, අනෙක් පුතා ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය පිළිබඳව පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සාලිය කුමාර ගුණසේකර