එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා  මහත්වරුන් දැනට දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙක නැවත භාරදෙන්නැයි ඔවුන් දෙදෙනාගෙන් බලකර ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා එම ධුර දරමින් මන්ත්‍රී වරප්‍රසාද විඳිමින් ශ්‍රී ලංකා
නිදහස් පක්‍ෂයට අභියෝග කරන බවත්, අදාළ මන්ත්‍රී ධුර දෙක නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදී ඔවුන් සිදුකරන ඕනෑම අභියෝගෙයකට උත්තර ලබාදෙන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසීය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක මහින්ද රාජපක්‍ෂ මහතාට අයිති බවට ඔවුන්
සදහන් කළද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරනු ලැබුවේ ඒක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බවත්, එහි සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් හෙතෙම පවසා සිටී.

එම නිසා මෙම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දරමින් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී තමන් කැමති පක්‍ෂයකට වැඩ කිරීමට අයිතියක් තිබෙන බවත් ජාතික සංවිධායක සඳහන් කළේය. එසේ ඡන්දෙන් පත්වීමට නොහැකි වූ නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදුන් බවත්, මන්ත්‍රී ධුර ලබාදීම නිසා පක්ෂයට විශාල බැණුම් ප්‍රමාණයක් ඇසීමටත් සිදුවු බවත් ඒ මහතා පවසා සිටියේය.

-එච්.අයි.තුෂාර-