https://www.gossiplankanews.com/2019/09/seven-elephant-deaths.html
බරණ  හිරිවඩුන්න තුම්ඹිකුලම රක්ෂිතයේ පසුගියදා මරණයට පත්ව තිබී හමුවූ ඇතින්නියන්ගේ මරණ කෙසේ සිදුවීද යන්න ගැන තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. මේ කිසිදු ඇතින්නකට වෙඩි වැදී නොතිබුණ අතර වස ශරීරගතවී මියගිය බවට
තහවුරු නොවූ සාක්ෂි පමණක් හමුව තිබේ. එසේ වස ශරීරගතවීම සිදුවුවත් ඇතිනියන් සත් දෙනෙකු පමණක් මේ ආකාරයට මියයාම තුළ විශාල සැකයක් පැනනැගී ඇත්තේ ස්වාභාවිකව කිසියම් ආහාරයක් හෝ පානයක් නිසා වස ශරීරගතවීමකට වඩා මේ ඇතිනියන්වම තෝරාගෙන වසදී ඇතිද යන්නය.

ශරීරයන්හි යම් විෂක් ඇතුළත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී  දළ  වශයෙන් හෙළිව තිබුණද , තවම විද්‍යාත්මක පරීක්ෂණ අවසන් නැති නිසා එය නිශ්චිතවම  කිව නොහැකි බව  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද ( 29 ) පවසා තිබේ.

එම විෂ ශරීරගත වී ඇත්තේ  යමෙකු විසින් ලබා දුන් ආහාරයක් මගින් යැයි සැක පැවතියත් තහවුරු කිරීමට ප්‍රමාණවත්  සාධක තවම හමුවී නැත. එක ඇතින්නියකගේ උදරයේ කැකිරි ඇට කිහිපයක් සහ අනිත් සෑම ඇතිනියකගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බව හදුනාගත් බව

දන්වා ඇත.වෙනත්  විශේෂ ආහාරයක්  පිටතින් ලබා දී ඇති සලකුණක් තවම හඳුනාගෙන නැත.
  විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබූ බවට සැක කරන බවද  වෛද්‍යවරයා සඳහන් කළේය.
වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ මහතා දන්වා සිටි පරිදි විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය  කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගෙන ඇත.

අද  යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත්  රක්ෂිතයේ සිට කලාවැව දක්වාම  තවත් මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් ආරම්භ කරත් මේ දක්වා හමුව ඇත්තේ සිරුරු 7 ක් පමණි.
මේ අතර සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතාවකින් කියැවෙන්නේ මෙම මරණ හා දේශපාලන කටයුතු අතර ගුප්ත සම්බන්ධයක් පැවතිය හැකි බවයි. ඇතිනියන් 7 කගේ ජීවිත බිලි පූජාවකට ලක්කර කිසියම් අපේක්ෂකයෙකු දිනවීම වෙනුවෙන් ගුරුකමක් කර තිබෙන බව එම තහවුරු නොකළ ආරංචි මගින් පතුරුවාහැර ඇත.

මේ වනවිට සිදුවීම් සම්බන්ධයෙන් රජය මැදිහත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක්ද අරඹා තිබෙන අතර මේ දක්වා එවැනි ගුරුකමක් ගැන තොරතුරු හෙළිව නැත.
ඇතින්නියන්  තිදෙනකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (29)  සිදු කෙරිණි. ඇතැම් මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා ඇතිව තිබෙන බව වෛද්‍යවරුන් දන්වා ඇත.
---------
පෙර ලිපිය
හිරිවඩුන්නෙන් හමුවූ ඇතිනි මළ සිරුර ගණන 7 ක් දක්වා ඉහළ යයි