එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු
අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උපමහලේකම්වරයා සමග අද (27) සාකච්ඡා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්
ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.  එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස පත් කිරිම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (25) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්  දෙපාර්තමේන්තුවේ උපමහලේකම්වරයා සමඟ මෙම කරුණ පිළිබඳව අද (27) සකච්ඡා කිරීමට නියමිතය.

-තිළිණි ද සිල්වා-