සිංහල සාහිත්‍යයේ සම්ප්‍රදායික ශානරවලින් මිදී නව්‍ය තැනක ස්ථානගත වීමට කැමති ලේඛකයන් ඉඳහිට සිටින්නට පුළුවන. එවන් අමුත්තෙක් අලුතින් බිහිව තිබේ. අවාසනාවකට ඔහුව අපට අද්‍යතන රාමුවේ කොතැනක හෝ ස්ථානගත කිරීමට සිදුව ඇත. සුරත් ද මැල්ගේ නවකතාව 'තී හා තා' පෙනුමට ආදර කතාවකි. කෘතිය පුරා අඩු නැති ආලිංගන තව ටිකක් සෞන්දර්යාත්මකව විස්තර කළා නම් මෙය අනුරාගී කෘතියක් වන්නට තිබූ මුත් ඔහු එසේ කර නැත.
මනෝ විශ්ලේෂණය, හාස්‍ය හා නාට්‍යමය ගුණයෙන් අනූන මුත් මේ කෘතිය ඒ ශානරයන් බලෙන් බදා අල්ල ගනිතැයි ද මම නොසිතමි.

මදක් නොගැළපෙතැයි සිතුණත් 'ආදර කතා’ ශානරයට 'තී හා තා' ස්ථානගත කරමි. කුමක් ද නොගැළපීම? මෙය සරල ආදර කතාවක් නොවේද? කොල්ලෙක්ට කෙනෙක් මුණ ගැසෙයි. දෙදෙනාම විරුද්ධ ලිංගිකයන්ට පමණක් ආකර්ෂණය ඇති අය. දෙදෙනා ප්‍රේමයෙන් වෙළෙති. අනුරාගයෙන් කිරුළු පළඳිති. කොටින්ම මොරටුවේ සිට ගල්කිස්ස දක්වා වූ සෙක්සි හෝටල් කාමරවල ගෘහභාණ්ඩ අසුරා ඇති පිළිවෙළ පවා ඔහුට කටපාඩමින් කිව හැකිය. වරක් මවගේ අතටද හසුවෙයි. මේ ප්‍රේම සංචාරය අතරේදී දෙදෙනා පිටස්තරයන් සමගද ආදරයෙන් වෙළෙති. පෙම්වතාගේ හැසිරි මෙන් අවසානයේ කළකිරෙන පෙම්වතිය ඔහු හැර යයි.
වෙනකෙකු හා විවාහ වෙයි. ඒ විවාහයත් දෙදරා යයි. පෙම්වතා නන්නත්තාරේ යද්දී රාත්‍රී සමාජශාලාවක හමුවන යුවතියක් හා විවාහ වෙයි.


එයත් කෙළවර වෙයි. වසර දහඅටක් පුරා දිවෙන මෙ මහා සංචාරය තුළ ඔවුහු එකිනෙකාට චෝදනා කර ගනිති. හඬති, වැළපෙති, මතින් මත් වෙති. කංසාවෙන් ගුවන්ගත වෙති. ඉතින් මේ සියල්ල අන්තර්ගත නම් 'තී හා තා' ආදර කතාවක් නොවන්නේ කෙසේද? උක්ත සිදුවීම් නම් සුජීව ප්‍රසන්න ආරච්චිටත් ලිවිය හැක. සමන් එදිරිමුණිට කොටස් 1000 ක ටෙලි නාට්‍යයක පිටපතක් ලිවිය හැක. නැත. කිසිසේත්ම නැත. 'තී හා තා' වර්තමාන සිංහල සාහිත්‍යය තුළ ආදර කතා' යනුවෙන් හඳුන්වන නිර්මාණවලින් සම්පූර්ණයෙන් වෙනස් වන්නේ ඒ නිසාය. එය සදා ආනන්දනීය පවිත්‍ර නිර්මල ප්‍රේමයෙන් පිරුණු, කරුණාව, දයාව, ගෞරවය ආත්මය කොට ගත් කතාවක් නොවේ.

එය අනුරාගය, ඊර්ෂ්‍යාව, වෛරය මෙන්ම අහිංසකත්වය ආදී සැබෑ මානුෂීය හැගීම් පිළිබඳ කතාකරන නවකතාවකි.
සිංහල සාහිත්‍යය තුළ අප 'ආදර කතා' යනුවෙන් හඳුන්වන ශානරයට පොදු වූ එක් අංග විකල ලක්ෂණයක් තිබේ. එනම් ඒවා වික්ටෝරියා රැජිනටත් වඩා විටෝරියානු චින්තනය විසින් මෙල්ල කරන ලද ඒවා වීමය. සිංහල නවකතාවේ ආරම්භයේ සිටම මේ විටෝරියානු චින්තනයෙන් ගැලවීමට ලේඛකයන් සමථ වී නොමැත. පියදාස සිරිසේනගේ 'ජයතිස්ස හා රොසලින්’ සිට එදිරිවීර සරච්චන්ද්‍රගේ "මළගිය ඇත්තෝ දක්වාද, කරුණාසේන ජයලගේ 'ගොළු හදවත සිට උපුල් ශාන්ත සන්නස්ගලගේ 'වස්සාන සිහිනය දක්වාද මේ රෝගය දුට හැකිය. ඔවුන්ගේ ආදර කතාවල පෙම්වතාගේ සහ පෙම්වතියගේ ටෙස්ටොස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් හීනතාවයන් පිළිබඳ අපට අනුකම්පා කිරිමට සිදු වෙයි.

වාසනාවකට 'ගීත් (සුරත්ගේ නවකතාවේ කතානායකයා) පිරිමි හෝමෝන උතුරන අයෙකි. විටෙක අතිරික්කයකි. විරුද්ධ ලිංගිකයන්ට පමණක් ආකර්ෂණය වන ඔහු ඒ මිම්මේ කෙළවරක සිටින්නෙකි. අනෙක් අතට දිව්‍යා' (කතානායිකාව) වරක් සිය මිතුරියක් කෙරෙහි නැඹුරු වක් දක්වන මුත් ඈ ද ද්විලිංගිකයෙකු නොවේ. බලාපොරොත්තු විය හැකි ආකාරයටම ගීත් විසින් දිව්‍යාගේ මේ මිතුරිය ද ආලිංගනයට පොළඹවා ගනියි. - 'ගීත් සහ දිව්‍ය’ පෙම් යුවළක් සමග සුරත් ද මැල් විසින් මෙතෙක් කල් සිංහල සාහිත්‍යය තුළ ' ආදර කතා' කිරුළ පැළඳ උන් වික්ටෝරියානු ආකල්පයන් සුණු විසුණු කර දමයි.
ඔහු විසින් නිරුවත් කරන්නේ පෙම්වතී සහ පෙම්වතාගේ චරිත මතු නොව, අප විසින් ආසියානු මොඩලයද තුළ පරමාදර්ශී යැයි වැරදි ලෙස අර්ථකථනය කොට ඇති වටිනාකම් සමූහයකි.

‘තී හා තා' කතාව කියවෙන්නේ කතානායකයාගේ අර්ථකථනයකි. එය පාපොච්චාරණයක් වැනිය. එහෙත් ඔහු පශ්චාත්තාපයෙන් පෙළෙන්නෙක් නොවේ. රසයෙන් අනූන දෙබස් හා පෙම්වතියගෙන් ලැබෙන ලියුම් කිහිපයක් හැරෙන්නට මෙහි අනෙක් චරිත සිතන පතන ආකාරය අවබෝධ කර ගැනීමට කතුවරයා අපට ඉඩ දී නැත. සියල්ලන්ටම වඩා

ඔහු කතානායකයා දෙස පවා අනුකම්පා සහගත ලෙස බැලුම් හෙළන්නෙක් නොවේ. ලේඛකයා විසින් කතානායකයා, සදාචාරයෙන් හෙබි නූතන රෝමියෝ කෙනෙකු කර නැත. ඔහු වඩා සමීප වන්නේ සිය පෙම්වතිය කොයි මොහොතක හෝ පෙරලාගන්න බලා සිටින ආවේගශීලී ආක්‍රමණශීලී ප්‍රාග් ඓතිහාසික මිනිසාටය.

සැබැවින්ම ගතහොත් දුරකථන ඇමතුමක් දී සිය පෙම්වතිය හෝටල් කාමරයකට කැන්දා ගන්නා නූතන දකුණු ආසියාතික පිරිමියාටය. එසේම 'දිව්‍යා' ද ඒ ඇමතුමේ ආරාධනය ප්‍රශ්න නොකරන විසිඑක් වැනි සියවසේ නූතන දකුණු ආසියාතික ගැහැනිය වේ.
දහ අට වසරක ආදර කතාවක් දිග හරිතත් කතුවරයා මෙහි කාලවකවානුව පිළිබඳ අපට සෘජුව නොපවසයි. ඔහු අපට
කාලය අල්ලා ගන්නට දෙන ඉඟිය නම් ජංගම දුරකථන භාවිතයයි. එහෙත් මෙහි ෆේස්බුක්, වට්ස්ඇ ප් හෝ කෙටි පණිවිඩ නැත. නව සහස්‍රකයේ ආදරයක් ගැජට් නැතුව සන්නිවේදනය වන අයුරු ආකර්ෂණීයය. මේ ටිකත් තිබුණ නම් කතාව තවත් සංකීර්ණ වීමට ද ඉඩක් තිබිණි.

ඔබ මේ නවකතාව කියවිය යුත්තේ ඇයි? වැදගත්ම හේතුව එහි කාව්‍යමය භාෂාවයි. ඒ බස සිත් ඇද බැඳ ගනී. එය හරියට දකුණු අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී වාහනයක යන ගමනක් වැනිය. එය ගමේ වළ ගොඩැලි ඇති පටු පාරක යන ත්‍රීවීල් ගමනක් නම් නොවේ. කතාවේ එන සියලු නාට්‍යමය අවස්ථා සහ ගැටුම් සුදු මුදු කරන පලස ඔහුගේ මටසිලිටු භාෂාවයි. සිංහල සාහිත්‍යයෙහි වෙනසක් බලාපොරොත්තු වන කාටත් නොබියව නිර්දේශ කරමි. ඔබ තවමත් වික්ටෝරියානු ආකල්ප කරපින්නාගත් ආදිකල්පිතයෙක් නම් මගේ බලවත් ශෝකය පිළිගන්න. ඔබට මගහැරෙන දෙයෙහි තරම ඔබ දන්නේ නැත.

(Daliy Mirror පුවත්පතට චානුක වත්තේගම ලියූ ලිපිය අනුවර්තනය කළේ නලින්ද සෙනෙවිරත්න)