අධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද නයාරු පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති මේධාලංකාර කිත්ති හිමියන්ගේ ආදාහනය සිදුකළ සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බව දෙමළ ජාතික
සන්ධානය රජයට බලකර සිටී. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයිසේනාධිරාජා මහතා සඳහන් කරන්නේ රජය විසින් හින්දු ආගමික ස්ථාන වෙත වහාම ආරක්ෂාව සැලසිය යුතු බවයි.

මේ පිළිබඳව පෙරේදා යාපනයේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ” කීය.
“භික්ෂුන් වහන්සේ කිහිපනමක් විසින් අධිකරණ නියෝගය කඩකිරීමට එරෙහිව උතුරේ නීතිඥවරුන් විසින් ගෙන යනු ලබන විරෝධතාව අගය කළ යුතුයි. එදින භික්ෂුන් වහන්සේ කිහිපනමක් අධිකරණ නියෝග කඩ කර තිබෙන්නේ පොලිසිය ඉදිරියේ. එම ක්‍රියාව ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාව වළ දැමීමේ කටයුත්තක්. මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව අපි සාමූහික වශයෙන් යම් තීරණයක් ගැනීමට කටයුතු කරනු ලබනවා.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට එක් වතාවක් සිරගත කළා. උන්වහන්සේට නිදහස ලැබුණේ ජනාධිපති පොදු සමාව යටතේ, එසේ තිබියදී ඥානසාර හිමියන් නැවතත් අධිකරණයට අපහාස කර තිබෙනවා.මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය අපි බලාපොරොත්තු වෙනවා.”