මාර්ගයේ රතු ආලෝකය දැල්වී ස්වයංක්රිය දුම්රිය ගේට්ටුව ක්රියාත්මක වෙමින් තිබියදී එම දුම්රිය හරස්
මාර්ගය ඔස්සේ ධාවනය කිරීම නිසා ඇති වූ අනතුරුදායක තත්ත්වයක් හේතුවෙන් බස් රථයේ සිටි මගීන්
ක්ෂණිකව බස් රථයෙන් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇත.
මගී ජනතාවගේ ජීවිත පිළිබඳව කිසිදු තැකීමක් නොකර තම මුදල් පසුම්බිය තර කර ගැනීමේ අරමුණින් ඉතා
අපරීක්ෂාකාරී අයුරින් මෙසේ දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇත්තේ වේයන්ගොඩ සිට ගලපිටමඩ බලා
ධාවනය වූ මාර්ග අංක 272 දරන පෞද්ගලික බස් රථයකි.
දුම්රිය ගේට්ටුව ක්රියාත්මක වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගය ඔස්සේ බස් රථය ධාවනය කර ඇති අතර
එහිදී දුම්රිය ගේට්ටුව බස් රථයේ වහලය කොටසේ ගැටීම නිසා බස් රථයේ හරි අඩක් දුම්රිය
තුළට සිටින සේ බස් රථය නතරවුණු බවත් එහිදී සිදුවීමට ගිය අනතුර පිළිබඳව වැටහීමෙන් අනතුරුව බස්
රථයේ සිටි මගීන් වහා බස් රථයෙන් පිටතට පැන දිවි බේරාගත් බවත් අසල ත්රිරෝද රථ ගාලේ
රියැදුරන් පැවැසීය.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කර නැවත පොල්ගහවෙල බලා ධාවනය කිරීමට තිබූ දුම්රියේ රියැදුරුට
සිදුවීමට ගිය අනතුර පිළිබඳව වැටහීමෙන් අනතුරුව දුම්රිය ගමන් ආරම්භ කිරීම ටික වේලාවකට ප්රමාද කර ඇත.
බස් රථය සහ රියැදුරු දුම්රිය ආරක්ෂක අංශය විසින් සිය භාරයට ගැනිණි.
අදාළ සිද්ධියෙන් දුම්රිය ගේට්ටුවට සිදුව ඇති බවත් මෙම වරදේ ස්වභාවය වෙනුවෙන් රුපියල් 25,000ක
දඩ මුදලක් බස් රියැදුරාගෙන් අයකර ගන්නා බවත් රියැදුරා කළ මෙම වැරැදි ක්රියාව හේතුවෙන් එක්
ස්ථානයකට පමණක් නොව සියලුම දුම්රියන්හි ධාවන කටයුතු ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ
රැසකටද බාධා එල්ල වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යාලයීය වේලාවන්හිදී වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසල දැඩි වාහන තදබදයක් පවතින බවත් ඒ
අසල කිසිදු පොලිස් නිලධාරියකු රැඳී නොසිටීම නිසා යතුරුපැදි ඇතුළු සියලු රථවාහන දුම්රිය ගේට්ටුව වසා
තිබියදී දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කරන බැවින් මෙම ස්ථානය මරු කපොල්ලක් බවට පත්ව ඇති
බවත් නගරවාසීහු චෝදනා නඟති.
වේයන්ගොඩ - ඉන්දික තුෂාර